කැලණි ගඟ ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට මිලිමීටර් 300කට ආසන්න අතිශය අධික වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන්, හංවැල්ල ප්‍රදේශයට පහළින් පිහිටි පහත් බිම් රැසකට ඉදිරි පැය 48 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් පවසයි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අනුව කැලණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට අයත් සීතාවක, දොම්පේ, පාදුක්ක, හෝමාගම, බියගම, කඩුවෙල, කොලොන්නාව, කැලණිය, වත්තල සහ කොළඹ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම් මෙලෙස ගංවතුර අවදානමට ලක්වීමේ දැඩි ප්‍රවණතාවක් පවතී.
මේ හේතුවෙන් ඉහත සඳහන් කළ ප්‍රදේශවල ගඟ දෙපස සහ පහත් බිම්වල ජීවත්වන ජනතාව වහාම ආරක්ෂිත පියවර ගත යුතු බවත්, එම අවදානම් කලාප හරහා ධාවනය වන වාහන පදවන්නන් දැඩි අවධානයෙන් සහ සුපරීක්ෂාකාරීව කටයුතු කළ යුතු බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.














