27 April 2024
#දේශීය

ISIS ත්‍රස්තවාදය මෙරටින් තුරන් කරන බව අගමැති කියයි

අයි.එස්. අයි.එස් ත්‍රස්තවාදය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමට පියවර ගන්නා බවත්, ත්‍රස්තවාදී ක්‍රියා සිදුකරන අය හෝ ඊට අනුබල දෙන අය පිළිබඳව තොරතුරු දන්නේ නම් එම තොරතුරු ආරක්ෂක අංශ වෙත ලබා දෙන ලෙස තමන් ජනතාවගේ ඉල්ලා සිටින බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (03) දින පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට ලක්වූ මඩකලපුව සියෝන් දේවස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වෙමින්.

අන්තවාදීන් කිහිපදෙනෙක් එකතුව පසුගිය 21 වෙනිදා ස්ථාන කිහිපයක බෝම්බ පුපුරුවා හරිමින් ඛේදවාචකය සිදුකර ඇති බව පෙන්වා දෙන වික්‍රමසිංහ මහතා ඒ අභියෝගය ජය ගැනීම සඳහා සිංහල, දෙමළ, මුස්ලිම්, කතෝලික සියලූ දෙනා එකට එක්ව ක්‍රියා කළ යුතු බව පෙන්වා දුන්නේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ මෙම නිරීක්ෂණ චාරිකාවට රජයේ මැති ඇමතිවරු කිහිප දෙනෙක් ද එක් වූහ.

සියෝන් දේවස්ථානය සහ ඒ අවට භුමියේ සංචාරය කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජයේ මැති ඇමතිවරු දේවස්ථානය ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධව එහි පූජකතුමන්ලා සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වූහ.

බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය හා තුවාල ලැබූ පිරිස් වෙනුවෙන් මුදල් පරිත්‍යාග කිරීමක් ද මෙහිදී සිදු විය. ඒ අනුව මිය ගිය පුද්ගලයෙක් වෙනුවෙන් රුපියල් දස ලක්ෂයක් ද, තුවාල ලැබූ අයෙක් වෙනුවෙන් ලක්ෂ පහක උපරිමයකට යටත්ව වන්දි මුදල් ලබා දීම ද සිදු කරන ලදී.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිස්තියානි සංගමයේ පූජක ප්‍රන්ස් පියතුමා සහ මඩකලපුව සියෝන් දේවස්ථානයේ ප්‍රධාන පූජකතුමා වන රොෂාන් මහේෂන් ඇතුළු පියතුමන්ලා සහ රාජ්‍ය පරිපාලන හා ආපදා කළමණාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, සංචාරක සංවර්ධන, වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන, ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම් සහ පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් වී. සිව ඥානසෝති, හානි පූර්ණ කාර්යාලයේ අධ්‍යක්ෂ ආනන්ද විජේපාල යන මහත්වරුන් ඇතුළු දේශපාලඥයන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් ද එක්ව සිටියහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *