ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් කිරීමට නියමිත නව ගිවිසුම සම්බන්ධයෙන් ඊශ්‍රායල රජයේ සහ ආරක්ෂක අංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සිය දැඩි කනස්සල්ල සහ විරෝධය පළ කර තිබේ. එක් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු මෙම ගිවිසුම සෘජුවම “කුණු ගිවිසුමක්” (Shit deal) ලෙස හඳුන්වා දී ඇති අතර, තවත් නිලධාරීන් දෙදෙනෙකු ඊට හේතු පැහැදිලි කර ඇත.
ඊශ්‍රායල පාර්ශවය පෙන්වා දෙන පරිදි මෙහි පවතින ප්‍රධානතම ගැටලුව වන්නේ මෙම ගිවිසුම හරහා ඉරාන රජයේ භාණ්ඩාගාරය වෙත ඩොලර් බිලියන ගණනක මුදලක් ගලා ඒමට නියමිත වීමයි. ඊශ්‍රායලය මාස දෙකක් තිස්සේ සිදුකළ යුද්ධය, සම්බාධක පැනවීම් සහ ‘මොසාඩ්’ බුද්ධි මෙහෙයුම් මඟින් බලාපොරොත්තු වූයේ ඉරානය දුර්වල කිරීම වුවද, මෙම මුදල් ප්‍රවාහය නිසා ඉරාන පාලනය පෙරට වඩා ශක්තිමත් වනු ඇතැයි ඔවුහු පෙන්වා දෙති.
අනෙක් බරපතලම ගැටලුව වන්නේ ලෙබනනය ද මෙම නව ගිවිසුම් රාමුවට ඇතුළත් කර තිබීමයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස, පසුගිය මාර්තු මාසයේ සිට ඊශ්‍රායලය විසින් ලෙබනනයේ හෙස්බොල්ලා (Hezbollah) ඉලක්ක වෙත දිනපතා එල්ල කරන ප්‍රහාර නීතිමය වශයෙන් සීමා වීමට නියමිතය. තමන් කිසිසේත්ම සම්බන්ධ නොවූ න්‍යෂ්ටික එකඟතාවක් (Nuclear agreement) මත පදනම් වූ මෙම ගිවිසුම හරහා හෙස්බොල්ලා සංවිධානයට එරෙහිව ක්‍රියා කිරීමට ඊශ්‍රායලයට ඇති මිලිටරි බලය සීමා වෙයි.
සමස්ත යුද්ධයේ පීඩනය සහ පිරිවැය තමන් දරා සිටියදී, වොෂින්ටනය (ඇමරිකාව) අත්සන් කිරීමට යන මෙම ගිවිසුම මඟින් ඉරානයට මුදල් ලබා දී, හෙස්බොල්ලා සංවිධානය ආරක්ෂා කර, ඊශ්‍රායලයේ දෑත් බැඳ දැමීමට කටයුතු කර ඇති බවට ජ්‍යෙෂ්ඨ ඊශ්‍රායල නිලධාරීහු සෘජුවම චෝදනා කරති.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්
















