පවතින සටන් විරාම ගිවිසුම නොතකමින් ගාසා තීරයේ ස්ථාන කිහිපයකට ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් අවම වශයෙන් පලස්තීනුවන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.
පලස්තීන සෞඛ්‍ය බලධාරීන් පවසන පරිදි, ගාසා නගරයේ උතුරු ප්‍රදේශයට සහ ඛාන් යුනිස් නගරයට එල්ල වූ ගුවන් සහ කාලතුවක්කු ප්‍රහාරවලින් මෙම පිරිස මියගොස් තිබේ. ගාසා නගරයේ බටහිර දෙසින් අවතැන් වූ පලස්තීනුවන් නවාතැන් ගෙන සිටි කූඩාරම් පෙදෙසකට එල්ල වූ ප්‍රහාරයකින් ද පුද්ගලයෙකු මියගොස් කිහිප දෙනෙකු තුවාල ලබා ඇත.
පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී අමෙරිකානු මැදිහත්වීමෙන් අත්සන් තැබූ සටන් විරාම ගිවිසුම මේ වන විට නාමික එකක් පමණක් වී ඇතැයි විචාරකයෝ පවසති. මෙම ගිවිසුම ක්‍රියාත්මක වීමෙන් පසු මේ දක්වා පලස්තීනුවන් 1,100කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර, ගාසා තීරයට මානුෂීය ආධාර ගලා ඒම සීමා කිරීම හේතුවෙන් එහි පවතින අර්බුදය තවදුරටත් උග්‍රවී ඇත.
ඊශ්‍රායලයේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය ඉලක්ක කරගනිමින්, එරට අගමැති බෙන්ජමින් නෙතන්යාහු සිය දේශපාලන පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා ගාසා තීරයේ ප්‍රහාර තීව්‍ර කිරීමට ඉඩ ඇති බවට ද ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයින් අනතුරු අඟවයි.
තොරතුරු උපුටා ගැනීම: Al jazeera ඇසුරින්














