ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත්වීම මත ඊශ්‍රායලය සහ ලෙබනනය අතර දින 10ක සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමේ එකඟතාවයකට දෙරටේ නායකයින් එළඹ තිබේ. සති ගණනාවක් පුරා ලෙබනනය තුළ ක්‍රියාත්මක වූ ඊශ්‍රායල ගොඩබිම් මෙහෙයුම් සහ ප්‍රහාර මෙයින් තාවකාලිකව නතර වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ලෙබනන ජනාධිපති ජෝසප් අවුන් (Joseph Aoun) සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමඟ පැවැත්වූ සාකච්ඡාවලින් අනතුරුව මෙම සටන් විරාමය ප්‍රකාශයට පත් කළ බව ජනාධිපති ට්‍රම්ප් සිය Truth Social ගිණුම හරහා තහවුරු කළේය. දශක ගණනාවකට පසු දෙරටේ නායකයින් අතර සෘජු හමුවක් පැවැත්වීම සඳහා ද ට්‍රම්ප් මෙහිදී ආරාධනා කර තිබේ.
මෙම සටන් විරාමය නිල වශයෙන් ඊශ්‍රායලය සහ ලෙබනනය අතර ඇති වූවක් වුවද, ඊශ්‍රායලය සැබවින්ම සටන් වදින්නේ ලෙබනනය තුළ සිටින ඉරාන හිතවාදී හෙස්බොල්ලා (Hezbollah) සංවිධානය සමඟය. හෙස්බොල්ලා සංවිධානය මෙම ගිවිසුමේ නිල කොටස්කරුවෙකු නොවන නමුත්, සටන් විරාමය ආරම්භ වීමත් සමඟ බේරූට් (Beirut) අගනුවර වැසියන් අහසට වෙඩි තබමින් එම පුවත සමරා ඇති බව වාර්තා වේ.
මෙම 10 දින සටන් විරාමය හරහා ඉරානය, ඇමරිකාව සහ ඊශ්‍රායලය අතර පවතින පුළුල් ගැටුම් සමනය කිරීමට සහ ස්ථිර සාමයක් උදා කර ගැනීමට අවශ්‍ය පසුබිම සකසා ගැනීම ජනාධිපති ට්‍රම්ප්ගේ අරමුණයි.
මෙම එකඟතාවය කලාපීය ස්ථාවරත්වයට ඉතා වැදගත් වන අතර, ඉදිරි දින දහය තුළ සාම සාකච්ඡා තවදුරටත් ඉදිරියට ගෙනයාමට නියමිතය.














