ඉරානය විසින් සිය රටට එරෙහිව නැවතත් කිසියම් ප්‍රහාරයක් දියත් කළහොත්, පෙර නොවූ විරූ ආකාරයේ අතිශය විනාශකාරී සහ ප්‍රබල ප්‍රතිප්‍රහාරයක් එල්ල කරන බවට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අද (14) අනතුරු ඇඟවීය.
ඊශ්‍රායලයේ ප්‍රකාශිත නොවන න්‍යෂ්ටික අවි ගබඩාව පිහිටා ඇතැයි විශ්වාස කෙරෙන දකුණුදිග ඩිමෝනා (Dimona) නගරයේ පැවැති සමුළුවකදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ, ඊශ්‍රායලයට පහර දී නිශ්ශබ්දව සිටිය හැකි කාලය දැන් අවසන් වී ඇති බවයි. මෙවර ඊශ්‍රායලයේ ප්‍රතිචාරය පෙර එල්ල කළ ප්‍රහාරවලට වඩා බෙහෙවින් බලවත් සහ සම්පූර්ණයෙන්ම වෙනස් එකක් වනු ඇති බවට ඔහු ප්‍රතිඥා දුන්නේය. ඇමෙරිකාව විසින් ඉරානයේ එකම සිවිල් න්‍යෂ්ටික බලාගාරය පිහිටි බුෂෙහ්ර් (Bushehr) වරාය නගරය ඇතුළු ස්ථාන රැසකට දරුණු ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටින සහ ජනපති ට්‍රම්ප් විසින් ඉරානයට පූර්ණ නාවික අවහිරතාවක් පනවන බව ප්‍රකාශ කර ඇති පසුබිමක නෙතන්යාහු මෙම දැඩි ප්‍රකාශය සිදුකර තිබේ. මේ අතර, ඇමෙරිකානු ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානය ද කලාපයේ සිටින ඇමෙරිකානු සගයන් ඉලක්ක කරමින් මිසයිල ප්‍රහාර දියත් කර ඇති බැවින් මැදපෙරදිග කලාපය දැඩි යුද උණුසුමක පවතී.
















