ඊශ්‍රායල හමුදා එල්ල කළ ගුවන් සහ වෙඩි ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු පලස්තීනුවන් නව දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට සෞඛ්‍ය අංශ තහවුරු කරයි. මෙම දරුණු ප්‍රහාරවලින් මියගිය දරුවන් දෙදෙනා අවුරුදු 6 සහ 10 යන වයස්වල පසුවන්නන් බව වාර්තා වේ.
මීට අමතරව ගාසා නගරයේ පාසලක් අසලට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් තවත් පුද්ගලයෙකු මියගොස් ඇති අතර, මෙම සිදුවීම් ද්විත්වයෙන් පුද්ගලයන් 12 දෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ. පසුගිය ඔක්තෝබර් මාසයේ ඇති කරගත් සටන් විරාම ගිවිසුමෙන් පසුව මේ දක්වා කාලය තුළ ගාසා තීරයේ පලස්තීනුවන් 1,000කට වැඩි පිරිසක් සහ ඊශ්‍රායල සෙබළුන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
කෙසේ වෙතත් ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කරන්නේ තමන් ගාසා නගරයේ සිටි සටන්කාමීන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ නමුත්, සිවිල් වැසියන්ට සිදු වූ හානි පිළිබඳව තමන් නොදන්නා බවයි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්















