27 April 2024
#දේශීය

පොල් ඉඩම්වල වැලි කැණීම සඳහා බලපත් නිකුත් කිරීම අත්හිටුවයි

පොල් ඉඩම්වල වැලි කැණීම් සිදුකරන හෙයින් බරපතල පාරිසරික හානියක් මෙන්ම පොල් ඵලදාව අඩු වීම කෙරෙහි ද තදින් බලපෑම් එල්ල කර තිබෙන බව පරිසර අමාත්‍යංශය පවසයි.

පසුගිය සිකුරාදා (04) පාර්ලිමේන්තුවේ පැවැති පරිසර අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේ දී මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්විණි.

පොල් ඉඩම් වල වැලි කැණීම් මේ වනවිට ඉතාමත් බරපතල ලෙස සිදුවන්නේ වයඹ පළාතේ බවත්, අනෙක් පළාත්වළත් මෙම තත්ත්වය ඉතාමත් බරපතල ලෙස සිදුවන බවත් මෙහිදී අවධාරණය විය.

එමනිසා පොල් ඉඩම්වල වැලි කැණිම් බලපත්‍ර නිකුත් කිරීම වහා අත්හිටුවීමට පියවර ගන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරින්ට එම උපදේශක කාරක සභා රැස්වීමේ දී උපදෙස් දුන්නේය.

එමෙන්ම වැලි කැණිම් බලපත්‍ර ලබා දීමේ දී මෙම කාරණය සම්බන්ධව දැඩි අවධානය යොමු කරන ලෙසත්, වැලි කැනීම් බලපත්‍ර යොදා ගනිමින් පොල් ඉඩම්වල වැලි කැණීම් සිදු කරන්නේ නම් ඒ සඳහා නිතිමය පියවර ගන්නා ලෙසත්, පොල් වගා ඉඩම්වල වැලි කැණීම් සිදුකිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවන ලෙසත් අමාත්‍යවරයා එම කාර්යාංශයට වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නේය.

මේ දිනවල වෙලඳ පොලේ පොල් මිල ඉහළ යාමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති කරුණු අතර මෙම තත්ත්වයද බලපා ඇති බවත්, පොල් අස්වැන්න වාර්ෂිකව පහළ යාමට මෙම වැලි කැණිම් හේතුවන බව ද අවධාරණය විය.

රාජ්‍ය අමාත්‍ය ඩී. බී හේරත් මහතා පෙන්වා දුන්නේ වයඹ පළාතේ පොල් ඉඩම්වල මහා පරිමාණයෙන් සිදු කරන වැලි කැණිම් නිසා වටිනා හා සරුසාර පොල් ඉඩම් රැසක් විනාශ වෙමින් පවතින බවයි. එමනිසා මෙම තත්ත්වය පාලනය කිරීමට නම් වැලි කැණීම් බලපත්‍ර තහනම් කරන ලෙස ද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *