බාර්සිලෝනා විවෘත ටෙනිස් තරගාවලියේ (Barcelona Open) පළමු වටයේ තරගය අතරතුරදී පාදයේ ඇති වූ ආබාධයක් හේතුවෙන් තරගයෙන් ඉවත් වීමට සිදු වුවද, තම ආබාධ තත්ත්වයන් පරාජය කර යළි ශක්තිමත්ව පිටියට පිවිසෙන බව බ්‍රිතාන්‍ය ක්‍රීඩක ජැක් ඩ්‍රේපර් (Jack Draper) පවසයි. 24 හැවිරිදි ඩ්‍රේපර්, ආර්ජන්ටිනාවේ තෝමස් එචවෙරි සමඟ පැවති තරගයේ තීරණාත්මක තෙවන වටයේදී ලකුණු 1-4ක් ලෙස පසුපසින් සිටියදී මෙලෙස ඉවත් වීමට තීරණය කළේය.
වම් අතේ ඇති වූ ආබාධයක් හේතුවෙන් මාස හයක කාලයක් ක්‍රීඩාවෙන් බැහැරව සිටි ඔහු යළි පිටියට පිවිසියේ පසුගිය පෙබරවාරි මාසයේදීය. මෙවර තරගයේදී දකුණු දණහිසට පහළින් වෙළුම් පටි යොදාගෙන ක්‍රීඩා කිරීමට උත්සාහ කළ ද, දැඩි වේදනාව හේතුවෙන් ඔහුට තරගය අතරමග නතර කිරීමට සිදු විය. “බාර්සිලෝනාහිදී මෙලෙස ඉවත් වීමට සිදුවීම කනගාටුදායකයි. මේ අසීරු කාලය තුළ ධනාත්මකව සිටීමට මම උපරිම උත්සාහ කරනවා,” යැයි ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත.
ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි මීට පෙර 4 වන ස්ථානයේ පසුවූ ඩ්‍රේපර්, ආබාධ හේතුවෙන් මේ වන විට 28 වන ස්ථානය දක්වා පහත වැටී තිබේ. ඉන්දියන් වෙල්ස් (Indian Wells) තරගාවලියේදී නොවැක් ජොකොවිච් පරාජය කරමින් දස්කම් දැක්වූ ඔහු, මැයි 24 වනදා ආරම්භ වන ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියට පෙර සිය යෝග්‍යතාවය යථා තත්ත්වයට පත් කර ගැනීමට බලාපොරොත්තුවෙන් පසුවෙයි. ඩ්‍රේපර්ගේ ප්‍රතිවාදියා වූ එචවෙරි ද ඔහු දක්ෂ සටන්කාමියෙකු බව පවසමින් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර තිබේ.














