සහන මත පමණක් යැපෙන මානසිකත්වයෙන් මිදී ස්වෝත්සාහයෙන් නැඟී සිටින ජනතාවක් සහ ප්‍රජාවක් බිහිකිරීම ‘ප්‍රජාශක්ති’ ජාතික වැඩසටහනේ මූලික අරමුණ බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් පාලන ඇමැති මහාචාර්ය ජානක රත්නායක මහතා පවසයි.
‘ප්‍රජාශක්ති’ වැඩසටහන කොළඹ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කිරීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද පැවසීය:
“අපේ රටේ ගොවි, ධීවර ඇතුළු බොහෝ ජන කොටස් අභියෝග හමුවේ නැඟී සිටීමට උත්සාහ ගන්නා පිරිස්. ඔවුන්ව දිරිමත් කිරීම අපේ වගකීමක්. දිළිඳු බව තුරන් කිරීමේ අරමුණින් ‘ප්‍රජාශක්ති’ ජාතික වැඩසටහන සමගින් ක්‍රියාත්මක වන ‘ගම් දස දහසක වැඩ දස දහසක්’ ජාතික වැඩසටහනේ උපරිම ප්‍රතිලාභ දිස්ත්‍රික්ක මට්ටමින් ජනතාවට හිමිකර දීමට අප කටයුතු කරනවා.”
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා සඳහන් කළේ, ප්‍රජා සංවිධාන හරහා හඳුනාගත් නිවාස, යටිතල පහසුකම් සහ ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 25,000ක ප්‍රතිපාදන වෙන් කර ඇති බවයි. එම සියලු මුදල් ඒ ඒ දිස්ත්‍රික්කවල සංවර්ධන කටයුතු සඳහා ලබා දෙන බවද ඒ මහතා තවදුරටත් කියා සිටියේය.
අද (02) දින සිට කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් විවිධ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කෙරේ.
















