කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කෙරෙන නවතම සමාගම වන ජනශක්ති ලිමිටඩ් (JXG) සිය ද්විතීයික වෙළෙඳපොළ ගනුදෙනු හෙට එනම් අප්‍රේල් 29 වනදා ආරම්භ කිරීමට නියමිතව තිබේ. මූලික මහජන කොටස් නිකුතුවක් හරහා කොළඹ කොටස් වෙළෙඳපොළට පිවිසි ජනශක්ති ලිමිටඩ් සමාගම එක් කොටසක් රුපියල් 10 බැගින් කොටස් මිලියන 500ක් නිකුත් කිරීමට පියවර ගෙන තිබුණි.
මෙම මූලික මහජන කොටස් නිකුතුව හරහා රුපියල් බිලියන 5ක අරමුදලක් සම්පාදනය කර ගැනීමට සමාගම සමත් වූ අතර නිකුතුව විවෘත කළ පළමු දිනයේ දීම පැවති ඉහළ ඉල්ලුම හෙවත් අධිදායකත්වය හේතුවෙන් එය වසා දැමීමට බලධාරීන් කටයුතු කළහ. පසුව සමාගම විසින් අනාවරණය කරන ලද්දේ නිකුත් කිරීමට සැලසුම් කළ කොටස් ප්‍රමාණය මෙන් තුන් ගුණයක අයදුම්පත් ප්‍රමාණයක් ආයෝජකයින්ගෙන් ලැබී තිබුණු බවයි.
ජනශක්ති ලයිෆ්, ෆස්ට් කැපිටල් සහ ජනශක්ති ෆිනෑන්ස් යන ආයතන ජනශක්ති ලිමිටඩ් හි ප්‍රධානතම අනුබද්ධිත සමාගම් ලෙස ක්‍රියාත්මක වේ. මෙම නව ලැයිස්තුගත කිරීමත් සමඟ කොළඹ කොටස් වෙළෙඳපොළේ මූල්‍ය ක්ෂේත්‍රයේ ක්‍රියාකාරීත්වය තවදුරටත් පුළුල් වනු ඇතැයි වෙළෙඳපොළ විචාරකයෝ අපේක්ෂා කරති.














