ඉතාලියේ ජැනික් සිනර් (Jannik Sinner), ස්පාඤ්ඤයේ කාලෝස් අල්කරාස් (Carlos Alcaraz) සෘජු වටවලින් පරාජයට පත් කරමින් සිය ප්‍රථම මොන්තේ කාලෝ මාස්ටර්ස් (Monte Carlo Masters) ටෙනිස් ශූරතාව දිනා ගැනීමට සමත් විය. ඊයේ (12) පැවති අවසන් මහා තරඟයේදී ඔහු 7-6(5), 6-3ක් ලෙස ජයග්‍රහණය වාර්තා කරමින්, අල්කරාස් සතුව තිබූ ලෝක ශ්‍රේණිගත කිරීම්හි අංක එකේ ස්ථානය යළි තමන් සතු කර ගත්තේය.
මෙම ජයග්‍රහණයත් සමඟ සිනර් ඉතිහාසයට එක් වූයේ එකම වසරක් තුළ “සන්ෂයින් ඩබල්” (Sunshine Double) සහ මොන්තේ කාලෝ ශූරතාව යන ත්‍රිත්වයම දිනාගත් ලොව දෙවන ක්‍රීඩකයා ලෙසයි. මීට පෙර එම සුවිශේෂී දක්ෂතාව දක්වා තිබුණේ 2015 වසරේදී නොවැක් ජොකොවිච් පමණි. මැටි පිටියේ (Clay Court) ක්‍රීඩා කරමින් සිනර් ලැබූ මෙම දැවැන්ත ජයග්‍රහණය ඔහුගේ වෘත්තීය ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකේ.
තරඟය පුරා අතිශය තියුණු සටනක් නිරූපණය වූ අතර, පළමු වටයේදී අල්කරාස් ප්‍රබල අභියෝගයක් එල්ල කළද ටයි-බ්‍රේකර් අවස්ථාවේදී සිනර් සිය දක්ෂතාව විදහා පෑවේය. දෙවන වටයේදී වඩාත් විශ්වාසයෙන් යුතුව පන්දුවට පහර දුන් සිනර්, ශූරතාව තහවුරු කර ගනිමින් වසරේ වඩාත්ම සාර්ථක ටෙනිස් ක්‍රීඩකයා ලෙස සිය ආධිපත්‍යය තවදුරටත් රැක ගත්තේය.















