ජපානයේ ටෝකියෝ නුවර රෝහලක 1953 වසරේදී සිදුවූ එක්තරා නොසැලකිලිමත් ක්‍රියාවක් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකුගේ මුළු ජීවිත කාලයම උඩුයටිකුරු වූ ආකාරය ලොවම මවිතයට පත් කළ සිදුවීමකි. විනාඩි 13ක පරතරයකින් උපත ලැබූ දරුවන් දෙදෙනෙකු, රෝහල් කාර්ය මණ්ඩලයේ වරදකින් එකිනෙකාට මාරු වී (Switched at birth), වැරදි පවුල් පසුබිම් තුළ හැදී වැඩීමෙන් ඔවුන්ගේ දෛවය අවාසනාවන්ත ලෙස වෙනස් විය.සැබවින්ම ධනවත් පවුලක උපත ලැබූ දරුවාට අත්වූයේ අතිශය දුෂ්කර ඉරණමකි. ඔහු වැරදීමකින් දුප්පත් පවුලකට මාරු වීම හේතුවෙන් ඉතාමත් කටුක ජීවිතයක් ගෙවීමට සිදු විය. වැන්දඹු මවක් යටතේ, විදුලිය පවා නොමැති කුඩා කාමරයක හැදී වැඩුණු ඔහු, රාත්‍රී කාලයේ පාඩම් කළේ කුප්පි ලාම්පු එළියෙනි. පවුලේ බර කරට ගත් ඔහු, සිය ජීවිතයේ දශක ගණනාවක්ම ලොරි රථ රියදුරෙකු ලෙස වෙහෙස මහන්සි වී වැඩ කළේය.මේ අතරතුර, සැබවින්ම දුප්පත් පවුලක උපන් අනෙක් දරුවා හැදී වැඩුණේ ධනවත් පවුලක රජ සැප මැදයි. ඉහළම අධ්‍යාපනය ලබා, ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයකින් උපාධිධාරියෙකු වූ ඔහු, පසුකාලීනව දේපළ වෙළඳාම් සමාගමක සාර්ථක ප්‍රධාන විධායක නිලධාරියෙකු (CEO) බවට පත්විය.දශක හයකට පසු, ධනවත් පවුලේ සහෝදරයන්ට සිය වැඩිමහල් සහෝදරයාගේ (CEO) පෙනුම සහ හැසිරීම් රටාවන් පිළිබඳව සැකයක් මතු විය. සිදුකරන ලද DNA පරීක්ෂණයකින් ඔහු සිය ජෛව විද්‍යාත්මක සහෝදරයෙකු නොවන බව සනාථ විය. පසුව රෝහල් වාර්තා ඔස්සේ සිදුකළ පරීක්ෂණවලින්, ලොරි රථ රියදුරා තම පවුලේ සැබෑ උරුමක්කාරයා බව හෙළි විය.තමන්ගේ සැබෑ දෙමාපියන් මියගිය පසු මෙම සත්‍යය දැනගැනීම එම ලොරි රථ රියදුරාට දරාගත නොහැකි වූ පීඩාවක් විය. තමන්ට අහිමි වූ දෙමාපිය ආදරය, සුන්දර ළමා කාලය සහ යෞවනය කිසිදු වන්දියකින් ආපසු ලබා දිය නොහැකි බව ඔහු පවසා සිටියේය. 2013 වසරේදී ටෝකියෝ අධිකරණය විසින් ඔහුට අහිමි වූ අවස්ථාවන් වෙනුවෙන් විශාල වන්දියක් රෝහලෙන් ලබා දෙන ලෙස නියෝග කළද, එය ඔහුගේ අහිමි වූ ජීවිතයේ වටිනාකම පියවීමට ප්‍රමාණවත් නොවීය.මෙම ඛේදවාචකය, එක් කුඩා වැරදීමකින් මිනිස් ජීවිත දෙකක දෛවය කොයිතරම් බිහිසුණු ලෙස වෙනස් කළ හැකිද යන්න ලෝකයට කියාපාන කදිම සාක්ෂියකි.
















