ඔසාකා නුවර පිහිටි පැචින්කෝ (pachinko) ක්‍රීඩා ශාලාවකට පෙට්‍රල් වත්කර ගිනි තැබීමෙන් පස්දෙනෙකු ඝාතනය කර තවත් 10 දෙනෙකුට තුවාල සිදුකිරීමේ වරදට වරදකරු වූ 58 හැවිරිදි සුනාඕ තකාමි (Sunao Takami) නමැත්තා ජපානය විසින් අද (21) එල්ලා මරා දමා තිබේ. අගමැතිනී සානේ තකායිචිගේ (Sanae Takaichi) පාලන සමය තුළ සිදුවූ පළමු මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම මෙය වෙයි.
2009 වසරේ සිදුවූ මෙම ප්‍රහාරයට අදාළව 2011 වසරේදී ඔසාකා දිසා අධිකරණය මගින් ඔහුට මරණ දඬුවම නියම කළ අතර, 2016 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය ද එම තීන්දුව තහවුරු කළේය. “මෙම අතිශය විනාශකාරී ක්‍රියාව නිසා සමාජයට දැඩි බියක් සහ අනතුරක් සිදුවූ බවත්, ඉතා හොඳින් කරුණු සලකා බැලීමෙන් පසුව අධිකරණ අමාත්‍යවරයා ලෙස මම මෙම මරණ දණ්ඩනය නියෝග කළ බවත්” ජපාන අධිකරණ අමාත්‍ය හිරෝෂි හිරගුචි (Hiroshi Hiraguchi) මාධ්‍ය හමුවකදී පැවසීය.
ජපානයේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරයෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතින අතර, G7 කාර්මික රටවල් අතරින් මරණ දඬුවම ක්‍රියාත්මක කරන එකම රටවල් දෙක වන්නේ ජපානය සහ ඇමෙරිකාවයි. ජපාන අධිකරණ අමාත්‍යාංශයට අනුව මේ වන විටත් ජපානයේ මරණීය දණ්ඩනය නියම වූ පුද්ගලයින් 100 දෙනෙකු බන්ධනාගාරගතව සිටිති.














