නැගෙනහිර පළාතේ සුළි කුණාටුවෙන් පීඩාවට පත් ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය යළි නංවාලීම සහ මිරිදිය ධීවර කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා ජපාන රජය සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) ශ්‍රී ලංකා රජය සමඟ එක්ව ඒකාබද්ධ වැඩසටහනක් දියත් කර තිබේ. කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාලයේදී මෙම ගිවිසුමට අත්සන් තැබුණේ ජපාන තානාපති අකියෝ ඉසොමාටා සහ FAO ශ්‍රී ලංකා නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙනි.
අමෙරිකානු ඩොලර් මිලියන 1.33ක අයවැයක් යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක ආවරණය කරමින් 2026 ජූනි මස සිට 2027 නොවැම්බර් දක්වා ක්‍රියාත්මක වීමට නියමිතය. ‘දිත්ව’ (Ditwah) සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වයන් නිසා මිරිදිය ධීවර පද්ධතිවලට සිදුවූ දැවැන්ත හානි සහ මත්ස්‍ය තොග විනාශ වීම් හේතුවෙන් පීඩාවට පත් පවුල් දහස් ගණනක් මෙහිදී ඉලක්ක කර ඇත.
මෙම ව්‍යාපෘතිය හරහා සිදුවන ප්‍රධාන මැදිහත්වීම් පහත දැක්වේ:
ජලාශවලට මත්ස්‍ය පැටවුන් මිලියන 5.48ක් මුදා හැරීම සහ වසරකට මත්ස්‍ය පැටවුන් මිලියන 16ක් නිෂ්පාදනය කළ හැකි පාවෙන කූඩු පද්ධති ස්ථාපනය කිරීම මෙහි ප්‍රධාන අරමුණයි. එමගින් නැගෙනහිර පළාතේ ජලාශ 30ක ධීවරයින් 1,504 දෙනෙකුට සෘජු ප්‍රතිලාභ ලැබෙන අතර, පවුල් 6,000කට අධික සංඛ්‍යාවකට ආහාර සුරක්ෂිතතාව සහ ආදායම් ස්ථාවරත්වය හිමි වේ.
පාවෙන මත්ස්‍ය අභිජනන කූඩු, අවශ්‍ය හෝමෝන වර්ග සැපයීම සහ අනාගත ගංවතුර තත්ත්වවලදී මත්ස්‍යයන් ගසාගෙන යෑම වැළැක්වීම සඳහා බාධක දැල් (barrier nets) ස්ථාපනය කිරීම සිදු කෙරේ.
FAO ආයතනය, ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA) සහ දේශීය ධීවර සංවිධාන සමඟ එක්ව මත්ස්‍ය පැටවුන් ඇති කිරීම, කූඩු කළමනාකරණය සහ තිරසාර ධීවර පාලනය පිළිබඳව තාක්ෂණික පුහුණුව ලබා දීමට නියමිතය.
















