දිට්ඨා සුළි කුණාටුව හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ නැගෙනහිර පළාතේ මිරිදිය ධීවර ප්‍රජාව නඟා සිටුවීමේ අරමුණින්, ඇමරිකානු ඩොලර් මිලියන 1.33ක (රුපියල් මිලියන 436ක් පමණ) ව්‍යාපෘතියක් සඳහා ගිවිසුම් අත්සන් කර තිබේ. ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාලයේදී මෙම ගිවිසුම් අත්සන් කිරීම සිදු විය.
මෙම ව්‍යාපෘතිය සඳහා සම්පූර්ණ මූල්‍ය දායකත්වය ජපාන රජය විසින් සපයනු ලබන අතර, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) විසින් තාක්ෂණික සහාය ලබාදීමට නියමිතය. මෙම ගිවිසුමට ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා සහ FAO නේවාසික නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් මහතා අත්සන් තැබූහ.
ව්‍යාපෘතිය යටතේ නැගෙනහිර පළාතේ තෝරාගත් ජලාශ 30ක මත්ස්‍ය කූඩු 200ක් ස්ථාපිත කිරීම, අවශ්‍ය Barrage nets පද්ධති ලබාදීම සහ ඉඟිණියාගල මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයේ පහසුකම් වර්ධනය කිරීමට අවශ්‍ය හෝමෝන සහ රසායනික ද්‍රව්‍ය සැපයීම සිදු කෙරේ. එමෙන්ම, ධීවර සමිති සඳහා Cage Culture පිළිබඳ තාක්ෂණික පුහුණු වැඩසටහන් පැවැත්වීම සහ පළමු වගා වටය සඳහා අවශ්‍ය මත්ස්‍ය පැටවුන් සහ ආහාර නොමිලේ ලබාදීමට ද නියමිතය. මිරිදිය ධීවර කර්මාන්තය නවීකරණය කිරීම හරහා ශ්‍රී ලංකාවේ ජාතික ආහාර සුරක්ෂිතතාවය ශක්තිමත් කිරීමට සහ අඩු ඉන්ධන පිරිවැයක් යටතේ ප්‍රෝටීන අවශ්‍යතාවය සපුරාලීමට මෙම ව්‍යාපෘතිය ඉවහල් වන බව අමාත්‍යවරයා සහ ජපාන තානාපතිවරයා පෙන්වා දී තිබේ.
















