ජපානයේ ගුවන් තොටුපළවල පවතින උග්‍ර ශ්‍රම හිඟයට සහ සේවක කාර්යබහුලත්වයට විසඳුමක් ලෙස, ටෝකියෝවේ හැනෙඩා ගුවන් තොටුපළේ භාණ්ඩ හැසිරවීමේ කටයුතු (Ground Handling) සඳහා මානුෂීය රොබෝවරුන් (Humanoid Robots) යොදාගැනීමට ජපන් ගුවන් සේවය (JAL) තීරණය කර තිබේ. මැයි මාසයේ සිට වසර දෙකක කාලයක් සඳහා මෙම පර්යේෂණාත්මක ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමට නියමිතය.
චීනයේ නිෂ්පාදිත මෙම රොබෝවරුන් මුලින්ම භාණ්ඩ බහාලුම් පැටවීම සහ බෑම සඳහා යොදාගන්නා අතර, ඉදිරියේදී ගුවන් යානා කුටි පිරිසිදු කිරීම වැනි කාර්යයන් සඳහා ද මොවුන්ගේ සහය ලබාගැනීමට අපේක්ෂිතය. ජපානයට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාම සහ එරට වැඩ කරන වයසේ පසුවන ජනගහනය අඩු වීම නිසා ගුවන් ක්ෂේත්‍රය මුහුණ දී ඇති අභියෝග ජය ගැනීමට මෙම තාක්ෂණික පියවර මහඟු පිටුවහලක් වනු ඇතැයි බලධාරීහු විශ්වාසය පළ කරති. කෙසේ වෙතත්, ආරක්ෂක කළමනාකරණය වැනි සංකීර්ණ වගකීම් තවදුරටත් මානව සේවකයින් විසින්ම ඉටු කරනු ඇත.














