නිසාන් මෝටර් සමාගමේ අනුබද්ධිත ආයතනයක් වන ජැට්කෝ (JATCO) විසින් බ්‍රිතාන්‍යයේ සන්ඩර්ලන්ඩ් (Sunderland) කම්හලේ විදුලි වාහන බල සැපයුම් පද්ධති (EV powertrains) නිෂ්පාදනය කිරීමේ සැලසුම් අත්හැර දැමීමට තීරණය කර තිබේ. යුරෝපය තුළ නිසාන් විදුලි වාහන සඳහා පවතින ඉල්ලුම මන්දගාමී වීම මෙම තීරණයට ප්‍රධාන හේතුව බව ‘නිකෙයි’ (Nikkei) ව්‍යාපාරික දිනපතා පුවත්පත වාර්තා කරයි. මීට පෙර 2025 ජනවාරි මාසයේදී ජැට්කෝ සමාගම විසින් බ්‍රිතාන්‍යයේ අදාළ කම්හලෙහි මෝටර්, ඉන්වර්ටර් සහ රිඩියුසර් ඇතුළත් විදුලි බල සැපයුම් පද්ධති ඒකක 340,000ක් දක්වා වාර්ෂිකව නිෂ්පාදනය කිරීම සඳහා පවුම් මිලියන 48.7ක (ඩොලර් මිලියන 65.39ක්) ආයෝජනයක් කිරීමට සැලසුම් කර තිබුණි. කෙසේ වෙතත්, වත්මන් වෙළෙඳපොළ තත්ත්වයන් සහ විදුලි වාහන සඳහා පවතින පසුබෑම හේතුවෙන් එම දැවැන්ත ආයෝජන ව්‍යාපෘතිය අත්හිටුවීමට සමාගම පියවර ගෙන ඇත.
















