ඇමෙරිකාව සහ ඉරානය අතර ඇති වූ නව සාම ගිවිසුම විවේචනය කරන ඉශ්‍රායල දේශපාලනඥයින්ට ඇමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් (JD Vance) මහතා දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් කියා සිටින්නේ වත්මන් ලෝකය තුළ ඉශ්‍රායලය වෙනුවෙන් පෙනී සිටින එකම රාජ්‍ය නායකයා ඩොනල්ඩ් ට්‍රම්ප් පමණක් බවයි. ඉරානයේ මිසයිල සහ න්‍යෂ්ටික වැඩපිළිවෙළ පාලනය කිරීමට මෙම ගිවිසුම අපොහොසත් වී ඇති බව පවසමින් ඉශ්‍රායල කැබිනට් මණ්ඩලයේ දැඩි මතධාරී ඇමතිවරුන් එල්ල කරන විවේචන ප්‍රතික්ෂේප කළ උප ජනාධිපතිවරයා, ඉශ්‍රායලය ආරක්ෂා කරන ආරක්ෂක මෙවලම්වලින් තුනෙන් දෙකක්ම ඇමෙරිකානු බදු මුදලින් සහ ඇමෙරිකානු දෑතින් නිර්මාණය වූ ඒවා බව මතක තබාගත යුතු යැයි අවධාරණය කළේය. මේ අතර, ඉශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු ප්‍රකාශ කර ඇත්තේ ඇමෙරිකාව සමඟ පවතින සබඳතා අගය කරන නමුත් තම රටේ ආරක්ෂාව වෙනුවෙන් දකුණු ලෙබනනයේ පවතින ආරක්ෂක කලාපයෙන් ඉවත් නොවන බවයි.
ඇමෙරිකා-ඉරාන ගිවිසුමේ කොන්දේසි අභියෝගයට ලක් කරමින් ඉශ්‍රායලය ලෙබනනයේ සිය මිලිටරි පාලන කලාපය පුළුල් කරන බව පෙන්වන සිතියමක් ද නිකුත් කර ඇති අතර, මෙවැනි පසුබිමක ඉශ්‍රායල ජාතික ආරක්ෂක ඇමති ඉතාමර් බෙන්-ග්වීර් (Itamar Ben-Gvir) වැනි ඇමතිවරුන්ගේ ප්‍රකාශවලට වෑන්ස් මහතා දැඩිව දෝෂාරෝපණය කළේය. “ඔබ මිලියන 9ක ජනගහනයක් ඉන්න රටක්, හැම ජාතික ආරක්ෂක ප්‍රශ්නයක්ම මිනිස්සු මරලා විසඳන්න බැහැ” යනුවෙන් වෑන්ස් කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් බෙන්-ග්වීර් පවසා ඇත්තේ 21 වන සියවසේ නාසිවරුන් මර්දනය කිරීමට සිදුව ඇති බවයි. කෙසේ වෙතත්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය සටහනක් තබමින් මැදපෙරදිග සියලුම පාර්ශවයන්ගෙන් ඉල්ලා ඇත්තේ සාකච්ඡා මාර්ගයට අවස්ථාව දෙමින් ලෙබනනය, හිස්බුල්ලා සහ ඉශ්‍රායලය ඇතුළු සියලුම පෙරමුණුවල සම්පූර්ණ සටන් විරාමයක් පවත්වා ගන්නා ලෙසයි.
















