වියළි කලාපයේ කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමේ තාක්ෂණික සහයෝගිතා ව්‍යාපෘතියක්, ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) රුපියල් මිලියන 300 ක මූල්‍ය ප්‍රදානයක් යටතේ වසර 3 ක කාලයක් සඳහා ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
මෙම ව්‍යාපෘතිය මඟින් උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ වයඹ යන පළාත් හතරෙහි දිනකට කිරි ලීටර 20 සිට ලීටර 100 දක්වා පරිමාවක් නිෂ්පාදනය කරන කිරි ගොවි ව්‍යවසායකයින් ඉලක්ක කර ගැනීමට නියමිතය. කිරි ගොවීන් සඳහා පුහුණු හා අධ්‍යාපනික වැඩසටහන් නිර්මාණය කිරීම, යෝග්‍ය තාක්ෂණික ක්‍රම හඳුන්වා දීම, තෘණ නිෂ්පාදනය හා සැපයුම ශක්තිමත් කිරීම සහ සෞඛ්‍යාරක්ෂිත ලෙස කිරි නිෂ්පාදනය මෙන්ම කිරි පරිභෝජනය ඉහළ නැංවීම මෙහි ප්‍රධාන අරමුණු වේ.
ව්‍යාපෘතිය යටතේ අදාළ පළාත් 4 න් එක් පළාතකින් දිස්ත්‍රික්ක 2 බැගින් තෝරාගෙන, එම දිස්ත්‍රික්ක තුළ පිහිටි පශු වෛද්‍ය කොට්ඨාස 3 බැගින් තෝරා ගැනීමට නියමිතය. අනතුරුව එකී පශු වෛද්‍ය කොට්ඨාසවල ආදර්ශ ගොවිපොළ 3 බැගින් වන පරිදි, සමස්ත පළාත් 4 තුළම ආදර්ශ ගොවි පොළ 24 ක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ.
ඒ අනුව, යෝජිත පරිදි වියළි කලාපයේ කිරි නිෂ්පාදනය සංවර්ධනය කිරීමේ තාක්ෂණික සහයෝගිතා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.














