ලන්ඩන් නුවර පැවැත්වුණු පෞද්ගලික සංගීත ප්‍රසංගයක් ඔස්සේ ලොව පුරා අවධානය දිනා ගන්නා ආදර්ශමත් සමාජ සත්කාරයක් වාර්තා වේ. ලෝක ප්‍රකට නළු ජොනි ඩෙප් සහ ප්‍රවීණ ගායන ශිල්පී රොඩ් ස්ටුවර්ට් යන දෙපළ එක්ව පාරවල් වල අනාථ වූ සහ අතහැර දැමූ බළලුන් වෙනුවෙන් අරමුදල් රැස් කිරීමේ විශේෂ ප්‍රසංගයක් පවත්වා තිබේ.
“Celia Hammond Animal Trust” නම් සත්ව සුභසාධන සංවිධානය වෙනුවෙන් මෙම අරමුදල් රැස් කිරීම සිදු කළ අතර, එම ප්‍රසංගය මගින් ඇමෙරිකානු ඩොලර් 300,000ක (ආසන්න වශයෙන් රුපියල් කෝටි 9ක) අතිවිශාල මුදලක් එකතු කර ගැනීමට ඔවුහු සමත් වූහ.
පාරවල් අයිනේ, කුසගින්නෙන් සහ විවිධ ලෙඩ රෝගවලින් පීඩා විඳින අසරණ සතුන් වෙනුවෙන් තමන් සතු ජනප්‍රියත්වය සහ කීර්තිය යොදා ගනිමින් ජොනි ඩෙප් සිදු කළ මෙම මැදිහත්වීම බොහෝ දෙනාගේ නොමඳ පැසසුමට ලක්ව ඇත. ලෝක ප්‍රකට තරු සිය ජනප්‍රියත්වය රතු පලස් (red carpets) මත පමණක් සීමා නොකර, මෙවැනි අසරණ සතුන්ගේ ජීවිත සුරැකීම සඳහා දායක වීම සමාජයට කදිම ආදර්ශයක් සපයයි.














