ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තමන් ඇස් බැඳගෙන සිටින බවට පසුගියදා කළ ප්‍රකාශය පූර්ණ සත්‍යයක් බවත්, ඔහු සැබවින්ම ඇස් බැඳගෙන සිටින බව රට පාලනය කරන ආකාරයෙන් සහ රට තුළ සිදුවන විනාශයෙන් මනාව තහවුරු වන බවත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි. නඩු කටයුත්තක් සඳහා සහභාගී වීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය වෙත පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ජනාධිපතිවරයාට කිසිදු දෙයක් නොපෙනෙන බවත්, අනුරාධපුරයේදී කියන දේ පොළොන්නරුවට යද්දීත්, පොළොන්නරුවේදී කියන දේ අනුරාධපුරයට යද්දීත් අමතක වන ආකාරයට රට පාලනය වන බවත් හිටපු අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය. එතුමාට ඇස් නොපෙනෙන සේම කන් ඇහෙන්නේ නැතැයි රටේ ජනතාව දැන් වටහාගෙන ඇති බවත්, වත්මන් පාලනයේ සැබෑ ස්වභාවය මේ වන විට ජනතාව ඉදිරියේ ක්‍රමයෙන් නිරාවරණය වෙමින් පවතින බවත් ඔහු අවධාරණය කළේය. පසුගියදා පැවැති තම පක්ෂයේ ජන රැලියේ සාර්ථකත්වය පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම කියා සිටියේ, එම රැලියේ ජනතා සහභාගීත්වය සහ සාර්ථකත්වය සැමටම පැහැදිලිව දැකගත හැකි වූ බැවින් ඒ පිළිබඳව අමුතුවෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍යතාවක් නැති බවයි.













