ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය විසින් ගෙන එනු ලබන යෝජනාව සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමක් පැවැත්වීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) තීරණය කර තිබේ.
මෙම වැඩසටහන එළඹෙන ජූලි 04 වැනි දින පැවැත්වීමට නියමිතය. මෙම යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කැඳවනු ලැබූ නීතිඥ සංගමයේ විධායක කමිටු රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති අතර, අදාළ යෝජනාව ක්‍රියාත්මක නොකරන ලෙස ඉල්ලමින් ජනාධිපතිවරයා වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට ද එම කමිටුව තීරණය කර ඇත. ඒ අනුව, නීතිඥ සංගමයේ මහ සභා රැස්වීමෙන් අනතුරුව මෙම මහජන අදහස් විමසීම සිදු කිරීමට අපේක්ෂා කෙරේ.
මේ අතර, ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අධිකරණ සේවා සංගමය (JSA) ද විශේෂ මහ සභා රැස්වීමක් කැඳවීමට තීරණය කර ඇත. එම සංගමයේ විධායක සභාව විසින් මෙම විශේෂ රැස්වීම ජූලි 11 වැනි දින පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
















