වර්තමාන රජය ඉතා කෙටි කාලයක් තුළ වැඩකරන ජනතාව වෙනුවෙන් අයිතිවාසිකම් රැසක් දිනා දීමට කටයුතු කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි. ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරනු ලබන මැයි දින සැමරුම් වැඩසටහන් සමඟ අත්වැල් බැඳගන්නා ලෙස ඔහු සමස්ත වැඩකරන ජනතාවගෙන් ඉල්ලා සිටියේය. මෙවර මැයි දිනය හුදෙක් උත්සවයක් පමණක් නොව, කම්කරු ජනතාවගේ ජයග්‍රහණ සහ ඉදිරි අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සැබෑ ජනතා සැමරුමක් බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
ජාතික ජන බලවේගයේ මැයි දින සැමරුම් සංවිධානය කිරීම පිළිබඳව වෘත්තීය සමිති නියෝජිතයන් රැසක් ද සිය අදහස් පළ කරමින් කියා සිටියේ, වැඩකරන ජනතාවගේ සැබෑ ගැටලු හඳුනාගෙන ඒවාට විසඳුම් ලබා දීමට රජය දක්වන උනන්දුව අගය කරන බවයි. දිවයින පුරා පවත්වනු ලබන මැයි රැළි මගින් කම්කරු පන්තියේ බලය සහ එකමුතුව ප්‍රදර්ශනය කිරීමට අපේක්ෂා කරන බව ද මෙහිදී සඳහන් විය.












