මෙරට පාතාල කල්ලි සාමාජිකයන් ලෙස කටයුතු කරන්නේ අන් කවරෙකුවත් නොව, මේ රටේ අහිංසක දුප්පත් මව්පියන්ගේ දරුවන් බව කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා අවධාරණය කළේ, අතීතයේ සිටි ඇතැම් දේශපාලනඥයන් විසින් තම පටු අරමුණු ඉටුකර ගැනීම සඳහා මෙම තරුණයන්ව පාතාලය වෙත යොමු කර ඇති බවයි.
“පාතාලය කියලා කියන්නේ මේ රටේ දුප්පත් අම්මලා තාත්තලාගේ දරුවෝ. ඒ අයට ඔය වගේ පසුබිමක් හැදුවේ ඉතිහාසයේ හිටපු ඇතැම් දේශපාලනඥයෝ. ඒ අය තමන්ගේ අතවැසියෝ විදිහට මේ දරුවන්ව තියාගත්තා. අද පාතාලයේ ඉන්නේ දේශපාලනඥයන්ගේ දරුවෝ නෙමෙයි, දක්ෂතාවය සහ ධෛර්යය තියෙන අහිංසක තරුණයෝ,” යැයි නගරාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
වත්මන් රජයේ සහ ජනාධිපතිවරයාගේ අරමුණ පාතාලය මර්දනය කිරීම පමණක් නොව, එවැනි තත්ත්වයන්ට ඇද වැටී සිටින අහිංසක තරුණයන් ඉන් මුදාගෙන ඔවුන්ට නිවැරදි මග පෙන්වීම බවද හෙතෙම සඳහන් කළේය. පාතාලය සහ මත්ද්‍රව්‍ය උවදුර රටින් තුරන් කිරීම ජනතාවගේ ප්‍රධාන බලාපොරොත්තුවක් බවත්, රජය ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ සිටිමින් එම වගකීම ඉටු කිරීමට කැපවී සිටින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.මීට අමතරව, දෙවිනුවර දේවාලයේ පෙරහැර කටයුතු සම්බන්ධයෙන් මතු වූ තත්ත්වය පිළිබඳවද අදහස් දැක්වූ රන්ජන් ජයලාල් මහතා, එය රටේ පැවති කේදජනක තත්ත්වයක පිළිඹිබුවක් බවත්, ඉදිරියේදී එවැනි තත්ත්වයන් ඇති නොවීමට රජය සහ ආරක්ෂක අංශ නිසි පියවර ගනු ඇති බවට තමන් විශ්වාස කරන බවත් ප්‍රකාශ කළේය.














