සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේ පමණක් නොව වසරේ සෑම දිනකම පාහේ කැවුම් පිසින අපූරු ගම්මානයක් ලෙස ජා-ඇළ කලඑළිය ග්‍රාමය සුවිශේෂී ස්ථානයක් ගනී. පරම්පරා කිහිපයක සිට කැවුම් සෑදීමේ කලාව උරුම කරගත් කතුන් රැසක් මෙම ගම්මානයේ ජීවත් වන අතර ඇග්නස් ප්‍රනාන්දු වැනි ජ්‍යෙෂ්ඨ කාන්තාවන්ගෙන් ඇරඹි මෙම කලාව ඇගේ දියණිය වන ශ්‍රියානි සහ මිනිපිරිය වන ආශිනි දක්වා පරම්පරා තුනක් පුරා අඛණ්ඩව විහිදී යයි.
අතීතයේ නිවෙස්වලට ගොස් කැවුම් ඉවීම සිදු කළද වර්තමානයේ මොවුන් ඇණවුම් ලබාගෙන සිය නිවෙස්වලදීම කැවිලි සකස් කර දීමට හුරු වී සිටිති. මීට අමතරව කොළඹ තොටළඟ, බොරැල්ල සහ පෑලියගොඩ වැනි ප්‍රදේශවලට ගොස් වීදි අලෙවිය සිදු කරමින් සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර ඇත. මෙම කර්මාන්තය ගමේ කාන්තාවන්ගේ ආර්ථිකය බෙහෙවින් ශක්තිමත් කර ඇති අතර නිවසේ ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ පවා මිලදී ගෙන ඇත්තේ කැවුම් විකුණා ලබාගත් මුදලිනි.
අවුරුදු සමයේදී කැවුම් දහසකට අධික ප්‍රමාණයක් පිසින අතර උදව්වට පැමිණෙන අයට කොණ්ඩ කැවුමක් වෙනුවෙන් රු. 10ක සහ කොකිසයකට රු. 2ක වැනි ශ්‍රම පිරිවැයක් ගෙවනු ලැබේ. කෙසේ වෙතත් 2026 වසරේ උත්සව සමය වන විටත් පවතින ඉන්ධන සහ ප්‍රවාහන වියදම් ඉහළ යෑම මොවුන්ට විශාල අභියෝගයක් වී තිබේ. විශේෂයෙන්ම කොළඹ ගොස් අලෙවි කිරීමේදී වාහන කුලිය ඉහළ යෑම නිසා ලාභය අඩුවීමේ අවදානමක් පැවතියද කලඑළිය යනු තෙල් ඉහිරුණු කැවුම් ගෙඩියක් මෙන් ගමම සිනහ ගන්වන දෑතේ වීරියෙන් ජීවිතය ජයගන්නා දිරිය කතුන් වෙසෙන ගම්මානයකි.














