බලවේග කට්ටලයක් සහ දුම්රිය එන්ජිමක් නොමැතිවීම හේතුවෙන් කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමන් වාර දෙකක් සහ ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර දෙකක් ඇතුළුව දුම්රිය ගමන් වාර 04ක් අවලංගු කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.
එහි ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා සඳහන් කළේ, අද සහ හෙට පස්වරු 4.00ට කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල බලා ධාවනය කිරීමට නියමිත දුම්රිය මෙන්ම, උදෑසන 5.55ට අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රිය යන ගමන් වාර දෙක සඳහා බලවේග කට්ටලයක් නොමැතිවීම හේතුවෙන් එම ගමන් වාර අවලංගු කර ඇති බවයි. මීට අමතරව, ප්‍රධාන මාර්ගයේ ධාවනය වන පාර්සල් ප්‍රවාහන දුම්රිය සඳහා යෙදවීමට දුම්රිය එන්ජිමක් නොමැතිවීම හේතුවෙන් අද දින එම දුම්රියේ ගමන් වාර දෙකද අවලංගු කර තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව තුළ දිගින් දිගටම සිදුවන මෙම දුම්රිය ගමන් වාර අවලංගු වීම් හමුවේ දෛනිකව දුම්රිය සේවය භාවිත කරන මගී ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටින බව එම සංගමය වැඩිදුරටත් පෙන්වා දෙයි.
















