මුළු මහත් සමාජයක්ම කම්පනයට පත් කරමින් කලාවැව ප්‍රදේශයෙන් ඇසුණු ඒ බිහිසුණු පුවත තවමත් බොහෝ දෙනෙකුගේ හදවත් තුළ නොසන්සුන්කාරී තත්වයක් නිර්මාණය කර තිබේ. කිසිදු වරදක් නැති අහිංසක සතුන් දස දෙනෙකු ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වූ මෙම අමානුෂික ක්‍රියාව, හුදෙක් සත්ව හිංසනයකට එහා ගිය ම්ලේච්ඡ ඝාතනයක් ලෙස ජනතාව හඳුන්වයි. තිරිසන් සතුන් පවා නොකරන මෙවන් සාහසික අපරාධයක් දහවල් කාලයේ මෙලෙස සිදුවීම පිටුපස ඇති බියකරු යථාර්ථය මේ වන විට මුළු ප්‍රදේශයම භීතියට පත් කිරීමට සමත්ව තිබේ.
මෙම අවාසනාවන්ත ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා මිනීමරුවන් වහා අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් අද දින පෙරවරුවේ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ අධ්‍යක්ෂ සුභාෂන සුබවික්‍රම මහතා ඇතුළු විශාල පිරිසක් ඉපලෝගම පොලිස් ස්ථානය වෙත පැමිණියහ. ප්‍රදේශවාසීන්ගේද දැඩි විරෝධය මැද පොලිස් ස්ථානය වෙත පැමිණි එම පිරිස, මෙම තිරිසන් අපරාධයට සම්බන්ධ වූවන් නීතිය හමුවට පමුණුවන තෙක් තම සටන අත්නොහරින බවට දැඩිව අවධාරණය කළහ. සිද්ධිය පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා සිටින ඔවුන් පවසන්නේ, නිහඬ සතුන්ගේ ලේ මතින් තම ආධිපත්‍යය පතුරවන මෙවැනි පුද්ගලයන් නිදැල්ලේ සිටීම මුළුමහත් සමාජයටම බරපතළ තර්ජනයක් බවයි.
සාධාරණය ඉටු කිරීම පසෙකලා මෙවැනි සිදුවීම් හමුවේ නිහඬව සිටීම යනු මීළඟ වින්දිතයා බවට තවත් පණ ඇති ජීවියෙකු පත් කිරීමට ඉඩ ප්‍රස්තාව සලසා දීමකි. යුක්තිය වෙනුවෙන් පෙනී සිටින සියලු දෙනාගේ එකම ඉල්ලීම වී ඇත්තේ, තිරිසන් ගති ඇති එම සාහසිකයන්ට උපරිම දඬුවම් ලබා දී අහිංසක ජීවිත වෙනුවෙන් යුක්තිය ඉටු කිරීමයි. මන්දයත්, නිහඬ ජීවිත වෙනුවෙන් හඬක් නැගීමට අප අපොහොසත් වුවහොත් හෙට දින අපේ රටේ මනුෂ්‍යත්වය යන්න වචනයකට පමණක් සීමා වනු නොඅනුමානය.














