කළුතර–කොළඹ ප්රධාන මාර්ගයේ ධාවනය වූ බස් රථයකට පිරිසක් පහරදීමේ සිද්ධියකට විරෝධය පළ කරමින් බස් රථ සේවකයින් ආරම්භ කළ නිහඬ විරෝධතාවක් හේතුවෙන් එම මාර්ගයේ පෞද්ගලික බස් රථ ධාවනය සම්පූර්ණයෙන්ම ඇනහිට තිබේ.
ඊයේ (27) රාත්රී 9.30ට පමණ කළුතර උතුර පොලිස් වසමට අයත් නාගසන්ධිය ප්රදේශයේදී මෙම ප්රහාරය සිදුව ඇති බව වාර්තා වේ.
කළුතර සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ බස් රථයකට යතුරුපැදි හතරකින් පැමිණි පුද්ගලයින් හයදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පහරදී ඇති බව සඳහන් වේ. එම ප්රහාරයෙන් බස් රථයේ කොන්දොස්තරවරයා සහ රියදුරු සහායකවරයා තුවාල ලබා කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
ප්රහාරයට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා බස් රථ සේවකයින් ධාවනයෙන් ඉවත්ව විරෝධතාවයේ නිරත වන අතර, ඒ හේතුවෙන් කළුතර–කොළඹ මාර්ගයේ පෞද්ගලික බස් රථ ධාවනයට බාධා එල්ල වී තිබේ.
















