කළුතර දිස්ත්‍රික්කය තුළ පාසල් වියේ පසුවන නමුත් පාසල් නොයන දරුවන් 161 දෙනෙකු 2025 වසරේදී හඳුනාගෙන ඇති බව කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අනාවරණය විය. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මෙම රැස්වීම පැවැත්විණි.
දිස්ත්‍රික් ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරියා ඉදිරිපත් කළ වාර්තාවට අනුව, වැඩිම පාසල් නොයන දරුවන් සංඛ්‍යාව දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 51කි. අනෙකුත් කොට්ඨාස මට්ටමින් දත්ත මෙසේය: හොරණ (20), පානදුර (15), කළුතර (15), මතුගම (15), බේරුවල (14), පාලින්දනුවර (08), බණ්ඩාරගම (07), අගලවත්ත (07), ඉංගිරිය (04), මිල්ලනිය (02), මදුරාවල (02) සහ වලල්ලාවිට (01) ලෙස දරුවන් වාර්තා වී ඇත. බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් එවැනි කිසිදු දරුවෙකු වාර්තා වී නොමැත.
හඳුනාගත් දරුවන් අතුරින් මේ වන විට 42 දෙනෙකු නැවත පාසල්ගත කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ. පාසල් අධීක්ෂණ කමිටු දිස්ත්‍රික්කයේ කොට්ඨාස 14න් 12කම පිහිටුවා ඇති අතර, බේරුවල සහ මතුගම කොට්ඨාසවල ද එම කමිටු කඩිනමින් පිහිටුවීමට නියමිතය. දරුවන් පාසල් නොයෑමට බලපා ඇති සමාජීය හා ආර්ථික හේතු සොයා බලා ඔවුන්ට අවශ්‍ය සහන සලසමින් අධ්‍යාපන අයිතිය තහවුරු කිරීමට මෙහිදී අවධානය යොමු විය.














