කළුතර – හොරණ මාර්ගයේ දෙදියවල සහ ඒකේ කණුව අතර ප්‍රදේශය අද දින දහවල් පැවති වැසි තත්ත්වය හේතුවෙන් යළිත් වරක් ජලයෙන් යටවී ඇත. සුළු වර්ෂාපතනයකදී පවා මෙලෙස මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් රථවාහන ගමනාගමනයට මෙන්ම පාසල් දරුවන්ට සහ කාර්යාල සේවකයින්ට දැඩි බාධාවන් එල්ල වෙමින් පවතී.
මෙම මාර්ගයේ විලේගාඩ හන්දිය, මල්වත්ත හන්දිය සහ උග්ගල්බඩ හන්දිය යන ප්‍රදේශයන් ද සෑම වැසි වාරයකදීම මෙලෙස ජලයෙන් යටවීමේ අවදානමට ලක්ව ඇත. මෙම ප්‍රදේශයන් නිරන්තරයෙන් ජලයෙන් යටවීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ මාර්ග දෙපස ඇති කාණු පද්ධතිය නිසි ලෙස නඩත්තු නොකිරීම සහ ජලය බැස යන මාර්ග අවහිර වීමයි. වසර ගණනාවක් පුරා පවතින මෙම ගැටලුව සඳහා නිසි විසඳුමක් නොලැබීම හේතුවෙන් ප්‍රදේශවාසීහු දැඩි අපහසුතාවයට පත්ව සිටිති.
වගකිවයුතු බලධාරීන්ගේ කඩිනම් අවධානය මේ වෙත යොමු කර, කාණු පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම සහ ජලය බැස යෑමට අවශ්‍ය තාක්ෂණික මැදිහත්වීම සිදු කරන ලෙස ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
















