දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කළුතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් පොලිසිය සහ අදාළ ආයතන එක්ව විමර්ශන ආරම්භ කර ඇත.
ඊයේ රාත්‍රියේ හටගත් මෙම ගින්නෙන් බදු කටයුතු සඳහා භාවිත කරන දත්ත පද්ධතියට කිසිදු හානියක් හෝ බලපෑමක් සිදුව නොමැති බව දේශීය ආදායම් බදු කොමසාරිස් ජනරාල් රුක්දේවී ප්‍රනාන්දු මහත්මිය සහතික කළාය.
ගින්නෙන් ඇති වූ තත්ත්වයන් කඩිනමින් යථා තත්ත්වයට පත් කර, දුරස්ථ සම්බන්ධතා මගින් පද්ධති සබඳතා ලබා දීමට කටයුතු කරමින් පවතින බවත්, කාර්යාල කටයුතු සාමාන්‍ය පරිදි පවත්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවත් කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කළාය.
කළුතර ප්‍රාදේශීය කාර්යාලයෙන් හදිසි රාජකාරී ඉටු කර ගැනීමට අපේක්ෂා කරන පුද්ගලයින්ට, ළඟම ඇති වෙනත් ප්‍රාදේශීය කාර්යාලයකින් හෝ ප්‍රධාන කාර්යාලයෙන් එම සේවාවන් ලබා ගැනීමේ හැකියාව පවතින බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.














