2017 වසරේ නායයෑම් ව්‍යසනයෙන් අවතැන් වී වසර නවයකට ආසන්න කාලයක් තාවකාලික නවාතැන්වල ජීවත් වූ කළුතර, දොඩන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වෝගන් වතුයායේ දීගල්ල කොටසේ පවුල් 16ක් සඳහා අංගසම්පූර්ණ ස්ථීර නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියේ මුල්ගල තැබීම ඊයේ (29) සිදු කෙරිණි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි. වැවිලි ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 57.6ක වියදමින් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය යටතේ නිවාස 16කට අමතරව මාර්ග, විදුලිය සහ පානීය ජලය ඇතුළු මූලික යටිතල පහසුකම්ද සංවර්ධනය කෙරේ.
නිදන කාමර දෙකක්, විසිත්ත කාමරයක්, මුළුතැන්ගෙයක් සහ නාන කාමරයකින් සමන්විත මෙම නිවාසවල ඉදිකිරීම් මේ වසරේ දෙසැම්බර් මාසය වනවිට අවසන් කර ප්‍රතිලාභීන් වෙත භාරදීමට නියමිතය.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, සෑම පවුලකටම සුරක්ෂිත නිවසක අයිතිය තහවුරු කිරීම වත්මන් රජයේ ප්‍රමුඛ සංවර්ධන අරමුණක් බවත්, ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී දේශපාලන හිතවත්කම්වලින් තොරව පූර්ණ විනිවිදභාවයකින් කටයුතු කළ බවත්ය.
















