දිවයිනේ ප්‍රදේශ දෙකක මෑතකදී සිදු වූ ආන්දෝලනාත්මක මනුෂ්‍ය ඝාතන සිද්ධීන් දෙකකට ඍජුවම ආධාර අනුබල ලබා දුන් ප්‍රධාන සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කළුතර දිසා අපරාධ කොට්ඨාසය සහ ඕමන්ත පොලිසිය ඒකාබද්ධ මෙහෙයුමකදී සමත්ව තිබේ. පසුගිය මැයි 28 වැනි දින කළුතර දකුණ පොලිස් වසමේදී මෝටර් රථයකින් පැමිණි සන්නද්ධ කල්ලියක් විසින් යතුරුපැදියක ගමන් කළ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සහ පසුගිය 6 වැනිදා රාත්‍රියේ ඕමන්ත, නාවට්කුලම් ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම විශේෂ විමර්ශන ක්‍රියාත්මක විය. අදාළ සාහසික අපරාධයන් හී සුලමුල සොයා දීපව්‍යාප්තව දියත් කළ බුද්ධි තොරතුරු මෙහෙයුම්වලින් අනතුරුව මෙම සැකකරුවන් පිරිස නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකිවී තිබේ.
කළුතර වෙඩි තැබීමේ සිද්ධියට අදාළව වැලිපැන්න, වලගෙදර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් 36 හැවිරිදි හම්බන්තොට පදිංචි ප්‍රධාන සැකකරු සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී මෙරට අපරාධ ක්ෂේත්‍රයේ ප්‍රබල තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට ආරක්ෂක අංශවලට හැකිවී ඇත. මෙම සැකකරු මතුගම, කළුතර, තිස්සමහාරාමය, වලස්මුල්ල සහ මොරවක යන මහේස්ත්‍රාත් අධිකරණ රැසකින්ම විවිධ අපරාධ ක්‍රියාවන් සම්බන්ධයෙන් වරෙන්තු නිකුත් කර සිටි, දීර්ඝ කාලයක් තිස්සේ පොලිසිය මඟහරිමින් සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු බව හෙළිව තිබේ. මේ අතර, ඕමන්ත නාවට්කුලම් ප්‍රදේශයේ සිදුවූ කෲර ඝාතනයට ආධාර අනුබල දීම සහ සේවා සැපයීම සම්බන්ධයෙන් වයස අවුරුදු 17, 27 පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු සහ වයස අවුරුදු 20, 23 යන වයස්වල පසුවන තරුණියන් දෙදෙනෙකු ද ඕමන්ත පොලිසිය විසින් ප්‍රදේශයේදීම කොටුකර ගනු ලැබීය.
මෙම අත්අඩංගුවට ගැනීම් හරහා සංවිධානාත්මක අපරාධ කල්ලි සහ තරුණ ප්‍රජාව අපරාධ සඳහා පෙළඹවීමේ පවතින සමාජයීය අවදානම පිළිබඳව අධිකරණ හා ආරක්ෂක අංශවල දැඩි අවධානය යොමුව ඇති අතර, රට තුළ නීතිය හා සාමය තහවුරු කිරීමේ ආයතනික ක්‍රියාවලිය තවදුරටත් දැඩි කර ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරියන් අධිකරණ වෛද්‍ය පරීක්ෂණ සහ ඉදිරි නීතිමය පියවර සඳහා අදාළ මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම සංවිධානාත්මක ජාලයන්හි පිටුපස සිටින සෙසු සාමාජිකයන් සහ මෙහෙයවන්නන් හඳුනාගැනීම සඳහා කළුතර දකුණ පොලිස් ස්ථානය සහ ඕමන්ත පොලිස් ස්ථානය පුළුල් විමර්ශන මාලාවක් තවදුරටත් ක්‍රියාත්මක කරනු ලබයි.
















