කළුතර ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ වාසනා බේකර්ස් ආයතනයේ පූර්ණ ධන පරිත්‍යාගයෙන් ඉදිකෙරෙන අතිසූක්ෂම නවීන පහසුකම්වලින් යුත් “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකය සඳහා මුල්ගල තැබීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. වර්තමානයේ රට මුහුණ දී ඇති දැවැන්තම සෞඛ්‍ය අභියෝගය බවට පත්ව ඇති බෝ නොවන රෝග අතරින් පිළිකා රෝගීන් දිනෙන් දින ඉහළ යාම හමුවේ, මෙතෙක් ස්ථාන කිහිපයක විසිරී පැවති පිළිකා ප්‍රතිකාර සේවාවන් එකම වහලක් යටට ගෙන ඒම සඳහා මෙම ව්‍යාපෘතිය ඉමහත් පිටුවහලක් වනු ඇත.
මෙරට සිදුවන සමස්ත මරණවලින් සියයට 83ක්ම බෝ නොවන රෝග හේතුවෙන් සිදුවන බව පෙන්වා දෙන සෞඛ්‍ය අමාත්‍යාංශය, දිනකට නව පිළිකා රෝගීන් සියයකට ආසන්න සංඛ්‍යාවක් හඳුනාගැනීම බරපතළ ජාතික ගැටළුවක් ලෙස හඳුනාගෙන ඇත. ඒ අනුව වාර්ෂිකව අලුතින් එකතු වන තිස්දහසකට අධික පිළිකා රෝගීන්ට අවශ්‍ය සායනික, කීමෝතෙරපි සහ නේවාසික ප්‍රතිකාර කඩිනමින් මෙන්ම ගුණාත්මකව ලබා දීම සඳහා රෝහල් ධාරිතාව පුළුල් කිරීමේ ජාතික අවශ්‍යතාවය මෙමඟින් මනාව සපුරාලනු ලබයි.
වසරක් ඇතුළත ඉදිකිරීම් අවසන් කර රෝගී සේවාවට එක් කිරීමට නියමිත මෙම නව ගොඩනැගිල්ල හරහා කළුතර දිස්ත්‍රික්කයට පමණක් නොව අවට ප්‍රදේශවල ජනතාවටද පහසු, කාර්යක්ෂම සහ විධිමත් ප්‍රතිකාර සේවාවක් හිමි වනු ඇත. රජයේ ප්‍රතිපත්තිවලට අමතරව දේශීය පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් ජාතික සෞඛ්‍ය අංශය ශක්තිමත් කිරීම අනාගත සෞඛ්‍ය අර්බුද ජයගැනීමට මහත් රුකුලක් වන අතර, මෙවැනි ක්‍රියාමාර්ග මඟින් මෙරට පිළිකා ප්‍රතිකාර සේවාවේ ගුණාත්මකභාවය ඉදිරියේදී තවදුරටත් ඉහළ නැංවෙනු ඇත.














