මහනුවර නගරයේ පැරණි බන්ධනාගාරය ඉදිරිපිට පිහිටි පදික වේදිකාවක් අද (29) පෙරවරුවේ හදිසියේ ගිලා බැසීමෙන් සිව්දෙනෙකු තුවාල ලබා තිබේ.
තුවාල ලැබූවන් අතර පිරිමි පුද්ගලයින් තිදෙනෙකු සහ කාන්තාවක් සිටින අතර, ඔවුන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
වෙළෙඳසැලක් ඉදිරිපිට පදික වේදිකාවේ කොටසක් මෙලෙස එකවර ගිලා බැසීමට ලක්ව ඇති අතර, ඒ ආසන්නයේ පිටුපසින් ගලා බසින ඇළ මාර්ගයේ ජල පහර හේතුවෙන් පදික වේදිකාවට යටින් වූ පස් තට්ටුව ඛාදනය වීම ඊට හේතුවන්නට ඇතැයි ප්‍රදේශවාසීහු සැක පළකරති.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ අංශ වැඩිදුර පරීක්ෂණ සිදුකරමින් සිටී.














