මහනුවර නගරයේ ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වුවද, නගර මධ්‍යයේ ඔරලෝසු කණුව අසල පිහිටි උමං මාර්ග පද්ධතිය තුළ ඇති ජල පොකුණ ඩෙංගු මදුරුවන් බෝවන ප්‍රධාන ස්ථානයක් බවට පත්ව ඇති බවට වාර්තා වේ. දිනපතා මෙම ස්ථානය භාවිතා කරන මහජනතාව සහ වෙළෙඳසල් හිමියන් පෙන්වා දෙන්නේ, එම පොකුණේ ජලය ඉතා අපිරිසිදු තත්ත්වයක පවතින බවත්, එහි ඩෙංගු මදුරු කීටයන් විශාල වශයෙන් බෝ වීමට ඉඩ ඇති බවත්ය.
මෙම ස්ථානය නිසි ලෙස පිරිසිදු නොකිරීම පිළිබඳව මහජනතාව සිය අප්‍රසාදය පළ කරති. හන්තාන සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු අමිත් සේනානායක මහතා අවධාරණය කරන්නේ, නගරයේ අනෙක් ස්ථානවල ඩෙංගු මර්ධනය කළද, මෙවැනි ප්‍රධාන ස්ථානයක් පිරිසිදු නොකර ඩෙංගු රෝගය පාලනය කළ නොහැකි බවයි. එබැවින් වහාම අදාළ ස්ථානය පරීක්ෂා කර එහි ජලය ඉවත් කර පිරිසිදු කරන ලෙස වගකිවයුතු අංශවලින් ඉල්ලා සිටී.
















