මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ අභිමානය සහ චාම් බව ඔපවත් කිරීම සඳහා චිරාත් කාලයක් තිස්සේ නොමද දායකත්වයක් ලබාදෙන හීලෑ අලි ඇතුන්ගේ සෞඛ්‍ය සහ සුබසාධනය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ප්‍රමුඛතාව ලබා දීම අත්‍යවශ්‍ය කාරණාවකි. සංස්කෘතික උරුමයන් සුරකිමින් සිදුකෙරෙන මෙවැනි මංගල්‍යයන්හිදී සත්ත්ව සුබසාධනය සහ ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය නිසි ලෙස පවත්වාගෙන යාම මගින් සත්ත්ව හිංසනයන් වැළැක්වීමට සහ පෙරහැරේ සුමට පැවැත්මට මනා රුකුලක් ලැබෙනු ඇත.
ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ඉල්ලීම මත, පෙරහැරේ ගමන් කරන අලි ඇතුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමේ විශේෂ හස්ති සායනයක් පශු වෛද්‍ය විශේෂඥ මහාචාර්ය අශෝක දංගොල්ල මහතාගේ අධීක්ෂණය යටතේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ කණ්ඩායමක් විසින් දළදා මාලිගාවේ ඇත් ගාලේදී සාර්ථකව පවත්වන ලදී. අවසන් කුඹල් පෙරහැර ආරම්භ වීමට ප්‍රථම ක්‍රියාත්මක වූ මෙම සායනය තුළදී සිංහරාජා මංගල හස්තියා සහ කතරගම වාසනා හස්තියා ඇතුළු අලි ඇතුන් වෙත අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සහ පරීක්ෂාවන් සිදු කරන ලදී.
මංගල්‍යයේ අභිමානය රැකගනිමින් සහභාගී වන සතුන්ගේ සෞඛ්‍ය තත්ත්වය අඛණ්ඩව නිරීක්ෂණය කිරීම හරහා සත්ත්ව හිමිකම් සහ ආරක්ෂාව තහවුරු කිරීමේ වැදගත් පියවරක් තැබෙන අතර, මෙවැනි ක්‍රියාමාර්ග අඛණ්ඩව පවත්වාගෙන යාම මගින් සංස්කෘතික උරුමයන්හි සැබෑ අරමුණ මනා ලෙස මූර්තිමත් වනු ඇත.















