හෙළයේ මහා කලා මංගල්‍යය ලෙස සැලකෙන මහනුවර ඇසළ මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහැර හෙට (අගෝස්තු 18) අඟහරුවාදා වීදි සංචාරය කරන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.
නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සතර මහා දේවාලයන්හි කප් සිටුවීමෙන් පසු ආරම්භ වූ දේවාල අභ්‍යන්තර පෙරහැරවල් අද (17) දක්වා පැවැත්වෙන අතර, පස්වන කුඹල් පෙරහැර 22 වැනි දින වීදි සංචාරය කිරීමෙන් පසු විචිත්‍රවත් රන්දෝලි පෙරහැර අගෝස්තු 23 දා සිට 27 දා දක්වා පැවැත්වේ. අවසන් රන්දෝලි මහ පෙරහැර නිකිණි පුන් පොහෝ දින (27) ගෙවැදීමෙන් පසු, අගෝස්තු 28 දා අලුයම් කාලයේ ගැටඹේ තොටේදී දිය කැපුම් මංගල්‍යය සිදු කර එදින දහවල් පෙරහැරින් මේ වසරේ ඇසළ පෙරහැර මංගල්‍යය නිමාවට පත්වේ.
මේ අතර, පෙරහැර මංගල්‍යයේ ආරක්ෂාව සඳහා පොලිසියේ 6,200ක්, පොලිස් විශේෂ කාර්ය බළකායේ 564ක් සහ ත්‍රිවිධ හමුදාවේ 1,200ක් සමඟ සිවිල් ආරක්ෂක නිලධාරීන් ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයන් 8,000ක් යෙදවීමට නියමිතය. පෙරහැර කාලය තුළ මහනුවර නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් සහ මාර්ග බාධක 14ක් ක්‍රියාත්මක වන අතර, රථ වාහන ගාල් කිරීම සඳහා රථ ගාල් 13ක් ස්ථාපිත කර ඇත.














