මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ සිව්වන රන්දෝලි පෙරහැර හෙට (අගෝස්තු 26) පස්වරු 6.44ට ශ්‍රී දළදා මාලිගාවෙන් ආරම්භ වී දළදා වීදිය, යටිනුවර වීදිය, හරස් වීදිය, කොටුගොඩැල්ල වීදිය, කන්දේ වීදිය, ඩී.එස්. සේනානායක වීදිය සහ රජ වීදිය ඔස්සේ ගමන් කර නැවත මාලිගයට ගෙවැදීමට නියමිතය. කිලෝමීටර 2 යි මීටර් 180 ක දුරකින් යුත් මෙම පෙරහැර වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇත.
පෙරහැර කාල සීමාව තුළ කටුගස්තොට සිට නගරයට පැමිණෙන බර වාහන මහයියාව හන්දියෙන් තිලක් රත්නායක මාවත ඔස්සේ පොලිසිය හන්දිය හරහා නගරයට ළඟා විය හැකි අතර, සැහැල්ලු වාහන ඩී.එස්. සේනානායක වීදිය, හරස් වීදිය හරහා යටිනුවර වීදියට පැමිණ, මීරමක්කම් පල්ලිය අසලින් තිලක් රත්නායක මාවත ඔස්සේ ගමන් කළ හැක. කටුගස්තොට දෙසට පිටවන වාහන පොලිසිය හන්දියෙන් තිලක් රත්නායක මාවත ඔස්සේ මහයියාව දෙසට ගමන් කළ යුතුය.
තැන්නේකුඹුර හා අම්පිටිය දෙසින් පැමිණෙන වාහන සංඝරාජ මාවත ඔස්සේ වේල්ස් පාර්ක් හන්දියට පැමිණ, ඇහැලේපොළ කුමාරිහාමි මාවතෙන් දකුණට හැරී බෝගම්බර දුම්රියපළ අසලින් කොළඹ දෙසට හෝ නගරය දෙසට ගමන් කළ හැකි අතර, රජපිහිල්ල මාවත හන්දියෙන් පල්ලිය පාර හරහාද (පල්ලිය පාර දෙපසටම ගමන් කිරීමට හැකි පරිදි බෙදා වෙන් කර ඇත) මහනුවර නගරයට ඇතුළු විය හැක. නගරයේ සිට අම්පිටිය/තෙල්දෙණිය දෙසට යන වාහන ඔරලෝසු කණුව වටරවුමෙන් දළඳා වීදිය ඔස්සේ පැමිණ, රැජිණ හෝටලයේ පැති දොරටුව අසලින් ජෝයි බෝට්ටු සේවය පසු කර සංඝරාජ මාවත ඔස්සේ ගමන් කළ යුතුය. කොළඹ දෙසින් පැමිණෙන සහ පිටවන වාහන සඳහා විලියම් ගොපල්ලව මාවත සහ පරණ පේරාදෙණිය පාර දෙපසටම භාවිතා කළ හැක.
පෙරහැර කාල සීමාව තුළ මහනුවර නගරයට ඇතුළු වන සහ ගමන් කරන රියැදුරන් පොලිස් උපදෙස් මත මෙම විකල්ප මාර්ග භාවිත කරන ලෙස ඉල්ලා සිටියි.
















