පෞරාණික වටිනාකමක් ඇති බවට සැක කෙරෙන කිලෝ ග්‍රෑම් 54ක බරින් යුත් තඹ බුද්ධ ප්‍රතිමාවක් විකිණීමට උත්සාහ කළ පුද්ගලයන් දෙදෙනෙකු මහනුවර පොලීසියේ අපරාධ විමර්ශන අංශය මඟින් ඊයේ (14) අත්අඩංගුවට ගනු ලැබීය. අත්අඩංගුවට ගත් සැකකරුවන් පැල්ගහතැන්න සහ ආගරතැන්න ප්‍රදේශවල පදිංචි, වයස අවුරුදු 50 සහ 56 පසුවන යුද හමුදා සේවයෙන් විශ්‍රාම ලැබූවන් බව පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබේ.
මෙම සැකකරුවන් බුදු පිළිමයේ පෞරාණික බව සහ එහි වටිනාකම පරීක්ෂා කරවා ගැනීම සඳහා මහනුවර කුමාර වීදියේ ස්ථානයකට පැමිණ සිටියදී, පොලීසියට ලද රහස් තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත. එහිදී සැකකරුවන් පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ, මෙම බුදුපිළිමයේ වටිනාකම තහවුරු කරගෙන එන ලෙස පවසමින් භික්ෂුන් වහන්සේ නමක් විසින් මෙය තමන්ට ලබාදුන් බවයි.
අත්අඩංගුවට ගත් බුද්ධ ප්‍රතිමාව වැඩිදුර විමර්ශන සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසියේ අපරාධ විමර්ශන අංශය පුළුල් පරීක්ෂණ පවත්වයි. පෞරාණික භාණ්ඩ ජාවාරම් කිරීමේ අරමුණින් මෙම පිරිස ක්‍රියා කළේ ද යන්න පිළිබඳව ද පොලීසියේ අවධානය යොමු වී තිබේ.














