කන්කසන්තුරේ වරායේ සිට ඉන්දියාවේ නාගපට්ටිනම් බලා යාත්‍රා කිරීමට නියමිතව තිබූ ‘SG423’ දරන මගී ප්‍රවාහන නෞකාව (Ferry) මඟින් නීතිවිරෝධී ලෙස ඉන්දියාවට රන් ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ බවට සැකපිට මඟීන් 26 දෙනෙකු ශ්‍රී ලංකා රේගු නිලධාරීන් විසින් අද (17 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකා රේගු බුද්ධි අංශයට ලැබුණු විශේෂ තොරතුරකට අනුව මෙම සාර්ථක වැටලීම සිදු කර ඇත.
මෙලෙස රේගු භාරයට ගෙන ඇති පිරිස අතර ඉන්දියානු ජාතිකයින් 17 දෙනෙකු, ශ්‍රී ලාංකික පිරිමි පුද්ගලයන් තිදෙනෙකු සහ ශ්‍රී ලාංකික කාන්තාවන් 6 දෙනෙකු සිටින බව රේගු මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි. සිදුකරන ලද මූලික සෝදිසි කිරීම්වලදී එම පිරිස අතරින් පුද්ගලයන් දෙදෙනෙකු සන්තකයේ තිබී නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ රන් තොගයක් සොයා ගැනීමට රේගු නිලධාරීන් සමත්ව තිබේ.
සෙසු සැකකරුවන් ද සිය ශරීර අභ්‍යන්තරයේ රන් සඟවාගෙන ප්‍රවාහනය කරන්නේද යන්න පිළිබඳව රේගු නිලධාරීන්ට දැඩි සැකයක් මතුව ඇත. ඒ අනුව, ඔවුන් සියලු දෙනාම විශේෂ එක්ස්-රේ (X-ray) සහ වෛද්‍ය පරීක්ෂණ සඳහා යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට රේගු නිලධාරීන් වහා පියවර ගෙන ඇති අතර ශ්‍රී ලංකා රේගුව මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරයි.
















