ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී (CEO) කපිල චන්ද්‍රසේන මහතාගේ අබිරහස් මරණය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (09) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේදී කැඳවූ අවස්ථාවේදී, මේ වන විට සාක්ෂිකරුවන් 22 දෙදෙනෙකුගෙන් සාක්ෂි සටහන් කරගෙන අවසන් බව හෙළි විය. වැඩිදුර සාක්ෂි විභාගය ලබන ජූනි 19 වැනිදාට කල් තැබිණි.
අද දින අධිකරණය හමුවේ සාක්ෂි දුන් කොළඹ දකුණ අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ (SOCO) ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසාද් සේනාධිර මහතා අපූර්ව අනාවරණයක් කළේය. ඔහු කියා සිටියේ මරණකරු කොල්ලුපිටිය පේදිරිස් පාරේ පිහිටි හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාගේ නිවසේ පළමු මහලේ කාමරයක මියගොස් සිටි ස්ථානයේ, ඔහු හිස තබාගෙන සිටි පුටුව මත සහ ඒ අසල පුටුව යට රුධිරය යැයි සැක කළ හැකි පැල්ලම් තිබූ බවයි. එම ලේ සාම්පල් රසායනාගාර පරීක්ෂණ සඳහා ලබාගත් බවත්, නාන කාමරයේ දොරේ ඉහළ දාරයේ සිට පහළට ලා නිල් පාට කෙඳි සහිත නිල් පැහැති පටියක් එල්ලෙමින් තිබූ බවත්, දොරේ ඉහළ දාරය 2mm පමණ තෙරපීමකට ලක්ව ඇති බව නිරීක්ෂණය වූ බවත් ඔහු පැවසීය.
මීට අමතරව සාක්ෂි දුන් කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක උදේෂ් දමයන්ත මහතා ප්‍රකාශ කළේ, 2026 මැයි 08 වැනිදා අරවින්ද ද සිල්වාගේ නිවසේ පුද්ගලයෙකු ගෙල වැලලාගෙන මියගොස් ඇති බවට ලද තොරතුරක් මත එහි ගොස් අරවින්ද ද සිල්වා, ඔහුගේ බිරිඳ, එහි සිටි නීතිඥ ප්‍රියන්ත සහ සේවකයන්ගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවයි.
තාක්ෂණික සාක්ෂි මෙහෙයවමින් පොලිස් සීසීටීවී කොට්ඨාසයේ කොස්තාපල් මධුෂ සමීර මහතා අධිකරණයට දන්වා සිටියේ, අරවින්ද ද සිල්වා මහතාගේ නිවසේ සවිකර තිබූ සීසීටීවී (CCTV) කැමරා 5ම ක්‍රියාත්මකව තිබුණද, එහි DVR යන්ත්‍රයේ දත්ත ගබඩාව (Hard Disk) පිරි තිබීම හේතුවෙන් සිදුවීම වූ දිනවල කිසිදු දර්ශනයක් පටිගත වී නොමැති බවයි. එහි දිනය ද ‘2002/01/10’ ලෙස වැරදියට සටහන්ව තිබූ බවත්, අවට වෙනත් නිවාස කිහිපයක දර්ශන පරීක්ෂා කිරීමට තාක්ෂණික සහය දුන් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
















