සෙට්ටිකුලම කප්පච්චිය ගම්මානය ඇතුළු අවට ගම්මානවල ජනතාව දීර්ඝ කාලයක සිට මුහුණ දුන් ප්‍රවාහන දුෂ්කරතාවලට විසඳුම් ලබාදීමේ අරමුණින් කප්පච්චිය නව පාලම ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම ඊයේ (12) සිදුකර තිබේ.
සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු ආරම්භ කර ඇත.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 136ක වියදමින් ඉදිකෙරෙන මෙම පාලමෙන් ගොවි පවුල් ඇතුළු පවුල් 400කට ආසන්න සංඛ්‍යාවකට සෘජු ප්‍රතිලාභ සැලසීමට නියමිතය. මීටර් 260ක දිගින් යුත් පාලමේ ඉදිකිරීම් දින 90ක් තුළ අවසන් කිරීමට සැලසුම් කර තිබේ.
කප්පච්චිය වැවේ වාන් ජලය පහසුවෙන් බැස යා හැකි ආකාරයට පාලම සහ මාර්ගය ඉදිකිරීමට නියමිත අතර, පසුගියදා ඇති වූ සුළිකුණාටුවෙන් පසු ඇති වූ ජලගැලීම් හේතුවෙන් පැරණි මාර්ගය සහ තාවකාලික පාලම දැඩි ලෙස අබලන් වීම ජනතාවගේ දෛනික කටයුතුවලට බාධාවක් වී තිබිණි.
මෙම අවස්ථාවට වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ජගදීස්වරන් මහතා, සෙට්ටිකුලම ප්‍රාදේශීය සභාවේ සභාපති ටී. ඉම්තියාස් මහතා ඇතුළු වාරිමාර්ග නිලධාරීන්, ප්‍රාදේශීය සභා නියෝජිතයන් සහ ප්‍රදේශවාසීන් එක්ව සිටියහ.
















