ගෝලීය වශයෙන් පවතින යුදමය වාතාවරණයත් සමඟ ඉදිරියේදී අපේ රටේ වෙළඳපොළ තුළද අත්‍යවශ්‍ය සෞඛ්‍යමය නිෂ්පාදනයක මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යාමේ බරපතල තර්ජනයක් මතුව තිබෙනවා. ප්‍රවාහන ගාස්තු ඉහළ යාම සහ නැව්ගත කිරීම් ප්‍රමාද වීම හේතුවෙන් සැපයුම් දාමයට එල්ල වී ඇති දැඩි බලපෑම නිසා ලොව පුරා පාරිභෝගික භාණ්ඩ රැසක හිඟයක් ඇතිවීමේ අවදානමක්ද මේ වන විට නිර්මාණය වී අවසානයි.
ලොව විශාලතම කොන්ඩම් නිෂ්පාදකයා ලෙස සැලකෙන මලයාසියාවේ කැරෙක්ස් (Karex Bhd) සමාගම සිය නිෂ්පාදන මිල 20% සිට 30% දක්වා ඉහළ නැංවීමට තීරණය කර ඇති බව එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ගෝ මියා කියට් රොයිටර් පුවත් සේවයට තහවුරු කර සිටිනවා. ඉරාන යුද්ධය හේතුවෙන් පැන නැගී ඇති අර්බුදකාරී තත්ත්වය තවදුරටත් පැවතුණහොත් මෙම මිල ගණන් මීට වඩා ඉහළ යා හැකි බවත් ඔහු පෙන්වා දෙනවා.
දැනට පවතින අධික පිරිවැය පාරිභෝගිකයා මත පැටවීම හැර තමන්ට වෙනත් විකල්පයක් නොමැති බව පවසන කැරෙක්ස් සමාගම, ලෝක වෙළඳපොළේ පවතින තොග අඩුවීම හේතුවෙන් ඉල්ලුමේ විශාල වැඩිවීමක් ද අපේක්ෂා කරනවා. මෙය හුදෙක් මිල ඉහළ යාමක් පමණක් නොව, ගෝලීය අවිනිශ්චිතතාවය හමුවේ ඔබේ එදිනෙදා ජීවන වියදමට තවත් මරු පහරක් එල්ල කිරීමකි.














