රුහුණු කතරගම මහා දේවාලයේ ගිනි පෑගීමේ උත්සවය ඊයේ (27 දා) අලුයම 4.00 ට අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. පෙර දින (26දා) රාත්‍රී විශේෂයෙන් තෝරා ගන්නා ලද පලු, වීර වැනි දැව භාවිතයෙන් විශාල ගිනි මැලයක් දල්වා, පසුදින අලුයම ගිනිමැලය රතු කැට ගැසුණු අඟුරු බවට පත්වූ පසු දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සරත් සේපාල ටී. රත්නායක මහතා විසින් එයට ආශිර්වාද කර පැන් ඉසීම සිදුකර ගිනි සිසිලන චාරිත්‍රය ඉටුකරන ලදී.දින ගණනාවකට පෙර සිට මස්, මාළු අනුභවයෙන් වැළකී, බ්‍රහ්මචාරීව, දැඩි ලෙස ‘පේවී’ සිටි බැතිමතුන් දහසක පිරිසක් අලුයම් කාලයේදී කතරගම දෙවියන් කෙරෙහි ඇති භක්තිය පෙරදැරිව මෙලෙස ගිනි පෑගූ බව ගිනි පෑගීමේ මැලය භාර ප්‍රධානී උපාලි සොයිසා සාමිවරයා පැවසීය. කතරගම ගිනි පෑගීමේ ඉතිහාසය 1948 දක්වා විහිදෙන අතර, යාපනයේ සිට පැමිණි ‘බ්‍රාහ්මණ සාමි’ නමැති හින්දු බැතිමතකුට වැළඳී තිබූ දරුණු කුෂ්ට රෝගයක් කතරගම දෙවියන්ගේ පිහිටෙන් සුව වීමෙන් පසු ගිනි පාගන බවට වූ භාරය ඉටු කිරීමත් සමඟ මෙම චාරිත්‍රය ආරම්භ වී තිබේ.














