ඉන්දියාවේ නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ස්විස් ජාත්‍යන්තර ගුවන් සේවයට (SWISS) අයත් යානයක් ගුවන්ගත වීමට උත්සාහ කිරීමේදී එහි එන්ජිමක හදිසියේ ගින්නක් හටගෙන තිබේ. අද (26) අලුයම 1:00ට පමණ සූරිච් බලා පියාසර කිරීමට සූදානම් වූ මෙම යානය, ධාවන පථයේ පැයට සැතපුම් 104ක වේගයෙන් ගමන් කරමින් තිබියදී මෙම අනතුරට මුහුණ දී ඇත.
ගුවන් නියමුවන් වහාම ක්‍රියාත්මක වී යානය නතර කිරීමට පියවර ගත් අතර, ඒ වන විට යානය තුළ සිටි මගීන් 232 දෙනා හදිසි දොරටු ඔස්සේ ආරක්ෂිතව ඉවත් කිරීමට කටයුතු කෙරිණි. යානයෙන් ඉවත් වීමේදී ඇති වූ කලබලකාරී තත්ත්වය සහ තෙරපීම හේතුවෙන් මගීන් 06 දෙනෙකු සුළු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තා වේ. යානයේ කාර්ය මණ්ඩලයට කිසිදු අනතුරක් සිදුව නොමැති අතර ගුවන් තොටුපළ ගිනි නිවන ඒකකය වහා ක්‍රියාත්මක වී ගින්න මැඩපවත්වා ඇත.
මෙම අනතුර හේතුවෙන් දිල්ලි ගුවන් තොටුපළේ සෙසු මෙහෙයුම්වලට බාධාවක් සිදුව නොමැති බව බලධාරීන් තහවුරු කරයි. අනතුරට හේතුව සෙවීම සඳහා ස්විට්සර්ලන්තයේ සිට විශේෂඥ කණ්ඩායමක් දිල්ලි වෙත පැමිණීමට නියමිත අතර, දැනට යානය පරීක්ෂණ කටයුතු සඳහා ධාවන පථයෙන් ඉවත් කර තිබේ.














