කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ හරිත නාලිකාව (Green Channel) හරහා රුපියල් මිලියන 4.8ක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත සිගරට් තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයෙකු රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සාජා සිට පැමිණි එයාර් ඇරබියා ගුවන් යානයකින් අද (13) අලුයම 2.50ට පමණ මෙරටට පැමිණි මොහු, කොළඹ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි කම්කරුවෙකු බව වාර්තා වේ.
සැකකරු රැගෙන ආ ගමන් මලු තුනක් පරීක්ෂා කිරීමේදී ඒ තුළ සඟවා තිබූ “මැන්චෙස්ටර්” සහ “ප්ලැටිනම්” වර්ගයේ විදේශීය සිගරට් පෙට්ටි 160ක් රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇත. එහි තිබූ මුළු සිගරට් සංඛ්‍යාව 32,000ක් බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය සඳහන් කළේය. අදාළ සිගරට් තොගය අත්අඩංගුවට ගත් නිලධාරීන් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.













