කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පැමිණීමේ ලොබියේ සංචාර සේවා කවුන්ටර 06ක් වසර 03ක කාලයක් ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු ආයතන තෝරා ගැනීමට අදාළ ප්‍රසම්පාදන පිරිනැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ජාතික තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය යටතේ ඉදිරිපත් වූ ලංසු 10ක් අතරින් ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත අදාළ ආයතන තෝරාගෙන ඇත.
අනුමත කරන ලද ආයතන සහ වටිනාකම් (බදු රහිත):
කවුන්ටර අංක 10 සඳහා M/s Casons Travel (Private) Ltd වෙත රුපියල් මිලියන 251.03ක මුදලකටද, කවුන්ටර අංක 11 සඳහා M/s JN W Lanka Tours වෙත රුපියල් මිලියන 209.67ක මුදලකටද, කවුන්ටර අංක 12 සඳහා M/s Awavia Tours (Private) Ltd වෙත රුපියල් මිලියන 189.66ක මුදලකටද, කවුන්ටර අංක 13 සඳහා M/s Ceylon Arrivals (Private) Ltd වෙත රුපියල් මිලියන 183.60ක මුදලකටද ප්‍රසම්පාදන පිරිනැමීමට නියමිතය. එමෙන්ම, කවුන්ටර අංක 14 සඳහා M/s Ayubowan Tours & Travels (Private) Ltd වෙත රුපියල් මිලියන 171.53ක මුදලකටද, කවුන්ටර අංක 15 සඳහා M/s Explore Vacations and Travels (Private) Ltd වෙත රුපියල් මිලියන 234.73ක මුදලකටද ප්‍රසම්පාදන පිරිනැමීමට අනුමැතිය ලබාදී තිබේ. මෙම කවුන්ටර මගින් විදේශීය සංචාරකයන්ට සහ අනෙකුත් ගුවන් මගීන්ට ගුවන්තොටුපොළට පැමිණීමෙන් අනතුරුව අවශ්‍ය සංචාරක සේවා සහ තොරතුරු පහසුකම් පහසුවෙන් ලබාගැනීමට අවස්ථාව සැලසෙනු ඇත.
—
### ආයෝජකයින්ට පහසුකම් සැලසීමට ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානයක්
දේශීය ආයෝජන ආරම්භ කිරීමේදී පවතින පරිපාලනමය බාධා සහ අනුමැති ලබාගැනීමේ ප්‍රමාදයන් අවම කරමින් ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීම සඳහා ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
විවිධ රාජ්‍ය ආයතන අතර බෙදී පවතින අනුමැති ක්‍රියාවලීන්, ඉඩම් වෙන්කරවා ගැනීම, පාරිසරික අනුමැති, විදුලි හා ජල සම්බන්ධතා සහ මූල්‍ය පහසුකම් ලබාගැනීමේදී සිදුවන ප්‍රමාදයන් හේතුවෙන් ආයෝජකයින් මුහුණපාන අපහසුතා මඟහරවා ගැනීම මෙහි අරමුණයි. ඒ අනුව, ව්‍යාපාර ආරම්භ කිරීමට අපේක්ෂා කරන දේශීය ව්‍යවසායකයින්ට අවශ්‍ය මගපෙන්වීම සහ පහසුකම් සැලසීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ඉහළ අධිකාරිත්වයක් සහිතව මෙම මධ්‍යස්ථානය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
















