පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇති වී තිබෙන අධික ජල ගැලීම් නිසා කටුනායක – මිනුවන්ගොඩ මාර්ගය, නයිකන්ද ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි. මේ හේතුවෙන් එම මාර්ගය භාවිත කරන මහජනතාවට සහ රියදුරන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය දැඩිව ඉල්ලා සිටී.
පොලිස් නිවේදනයට අනුව, කොළඹ සිට අධිවේගී මාර්ගය ඔස්සේ කටුනායක හරහා කුරුණෑගල අධිවේගී මාර්ගය වෙත ගමන් කිරීමට අපේක්ෂා කරන රථවාහන සඳහා විකල්ප මාර්ගය ලෙස ජා-ඇල සහ මිනුවන්ගොඩ හරහා ගමන් කළ හැකිය. එමෙන්ම කුරුණෑගල අධිවේගී මාර්ගයේ සිට කටුනායක හරහා කොළඹ දක්වා පැමිණෙන රථවාහන ද මිනුවන්ගොඩ සහ ජා-ඇල හරහා ධාවනය කළ යුතු බව පොලිසිය පෙන්වා දෙයි.
මීට අමතරව ගම්පහ ප්‍රදේශයේ සිට පැමිණෙන රථවාහන සඳහා ද විකල්ප මාර්ග ක්‍රියාත්මක වන අතර, ඒ අනුව ගම්පහ සිට පැමිණෙන වාහන මිනුවන්ගොඩ සහ සීදූව හරහා මිනුවන්ගොඩ – ජා-ඇල මාර්ගය ඔස්සේ ධාවනය කළ යුතු බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරයි.














